NAIDOC සතියේ ඉතිහාසය 1920 වසර දක්වා දිව යයි. මුලදී එක් විරෝධතා දිනයක් පමණක් වූ එය පසුව, ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, ඔවුන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසය සතියක් පුරා සැමරීම දක්වා ව්‍යාප්ත වී තිබේ.
NAIDOC යනු National Aborigines and Islanders Day Observance Committee හෙවත් ජාතික ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ දින සැමරුම් කමිටුවයි.
NAIDOC සතිය යනු කුමක්ද?
වාර්ෂිකව සමරනු ලබන ජාතික NAIDOC සතියේ සම්මාන ප්‍රදානෝත්සවය ඇතුළු ආදි වාසීන්ගේ සංස්කෘතිය සහ විශිෂ්ටත්වය සමරනු ලබන NAIDOC සතිය සෑම වසරකම ජූලි මස මුල් සතියේ යෙදී තිබේ.
NAIDOC කමිටු සාමාජික Kenny Bedford යනු ටෝරස් සමුද්‍ර දූපත්හි Erub දූපතේ Meuram වරිගයේ පාරම්පරික හිමිකරුවෙකි.
NAIDOC සතිය යනු වසර 65,000 ක අඛණ්ඩ සංස්කෘතියක් එකට එක් වී සැමරීම බවත් එය ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාවගේ දින දර්ශනයේ වඩාත්ම වැදගත් සතියක් වන බවත් ඔහු පවසයි.
මෙම සතිය, ආදි වාසී ජනතාවගේ ගැටළු ගැන එක්ව අවධානය යොමු කළ හැකි කාලයක් වේ. එමෙන්ම වසර දහස් ගණනකට පසුවත් ආදි වාසී ජනතාව ඕස්ට්‍රේලියානු ප්‍රජාවේ වැදගත් කොටසක් ලෙස ඔවුන්ගේ සංස්කෘතිය ද සමගින් ශක්තිමත්ව සිටීම ද මෙහිදී සැමරිය හැකි බව ඔහු පැවසීය.
NAIDOC සතියේ ඉතිහාසය කුමක්ද?
මෙම සැමරුම විකාශනය වූයේ 1920 වසරේදී ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධියේ වැසියන්ගේ තත්ත්වය සහ ඔවුන් ගැන අවධානය යොමු කිරීම පිළිබඳ ප්‍රජා අවබෝධය වැඩිදියුණු කරන ලෙස ඉල්ලමින් දියත් කළ විරෝධතා ව්‍යාපාරයකිනි.
පළමුව එය ශෝක දිනයක් ලෙස සනිටුහන් කළ අතර පසුව ඔස්ට්‍රේලියාවේ ජාතික දිනය වර්ජනය කිරීම දක්වා ව්‍යාප්ත විය.
වාර්ෂිකව ජනවාරි 26 වන දින සමරනු ලබන ඕස්ට්‍රේලියානු දිනය 1788 දී බ්‍රිතාන්‍ය ගවේෂකයින් විසින් සිඩ්නි කෝව් හි සිය ධජය රෝපණය කර එම භූමිය ඔවුන්ගේ බව ප්‍රකාශයට පත් කළ දිනයයි.
වසර ගණනාවකින් පසු ,මෙම NAIDOC සැමරුම ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව, ඔවුන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසය සැමරීමේ උත්සවයක් බවට පත් විය.
එක් දිනක සැමරුමක් වූ මෙය 1955 වසරේදී සතියක් පුරා සිදු කරන සැමරුමක් බවට පත් කරනු ලැබීය. එහිදී මෙම උත්සවය වාර්ෂිකව ජූලි මාසයේදී පැවැත්වීමට තීරණය කොට තිබේ.
1956 දී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඇබොරිජිනල් සහ ඇබොරිජිනල් නොවන කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරමින්, ජාතික ඇබොරිජිනල් දින සැමරුම් කමිටුව පිහිටුවන ලදී.
1990 ගණන්වල මුල් භාගයේදී, එම කමිටුවට ටෝරස් සමුද්‍ර දූපත් වැසියන් ද ඇතුළත් වන පරිදි එහි නම වෙනස් කරන ලදී.
ආදී වාසී දරුවන් දෙමාපියන්ගෙන් ඉවත් කිරීම, ආදිවාසීන්ට වැටුප් සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම සහ 1930 දක්වා දේශසීමා වෙනුවෙන් ආදිවාසීන් සමූලඝාතනයට ලක් කිරීමේ ආකල්පය සහිත රජයේ ප්‍රතිපත්ති මුලදී සිදු වූ විරෝධතා ව්‍යාපාර සඳහා හේතු වී තිබේ.
1997 ඉදිරිපත් වූ Bringing The Home වාර්තාව මගින්, 1910 සහ 1970 අතර ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුව ආදිවාසී දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ පවුල්වලින් බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව පෙන්වා දේ.
ඔස්ට්‍රේලියාව යටත් විජිතයක් බවට පත් වීමේ තවත් බලපෑමක් නම් ආදිවාසී භාෂාව අභාවයට යාමයි .ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමට පෙර ඔස්ට්‍රේලියාවේ භාෂා 250 කට අධික ප්‍රමාණයක් සහ උපභාෂා 800 කට අධික ප්‍රමාණයක් භාවිතා විය.
2018-19 වසර සඳහා ජාතික සංගණන දත්ත මගින් , මේ වන විට ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධිය දූපත් වැසියන්ගේ භාෂා 123ක් පමණ භාවිතයේ පවතින බව පෙන්වා දේ.
එම භාෂා 123න් භාෂා 20 ක් සඳහා අදාළ භාෂාව කතා කරන පුද්ගලයින් 1,000 කට වඩා සිටින නමුත් එම භාෂාවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් සඳහා අදාළ භාෂාව කතා කරන්නේ පුද්ගලයින් 51කටත් වඩා අඩු ගණනකි.
2023 වසරේ NAIDOC සතියේ තේමාව කුමක්ද?
මෙවර තේමාව මගින් ආදිවාසී වැඩිහිටියන්ට උපහාර පුද කරනු ලැබේ. එහි තේමා පාඨය වන්නේ 'For Our Elders' යන්නයි.
ජාතික NAIDOC කමිටුවේ සම-සභාපති,නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අභිමානවත් Wiradjuri සහ Gamilaroi වරිගයේ කාන්තාවක වන Dr Lynette Riley විසින් මෙම තේමාවෙන් පළමු ජාතීන්ගේ සංස්කෘතීන්හි ඥාතිත්ව ව්‍යුහයේ ඇති වැදගත් භූමිකාව පිළිබිඹු වන බව පවසයි.
ආදිවාසී සහ ආදිවාසී නොවන ඕස්ට්‍රේලියානුවන් අතර වඩා හොඳ සබඳතා ගොඩනගා ගැනීමේ ඉදිරි මාවතක් පෙන්නුම් කරමින් එමගින් අතීතය, වර්තමානය සහ අනාගතය සම්බන්ධ කරන බවද Dr Lynette Riley වැඩිදුරටත් පැවසුවාය.
"මගේ දරුවන්ට මෙන්ම සියල්ලන්ගේම දරුවන්ට ඔස්ට්‍රේලියාව වඩා හොඳ තැනක් කිරීමේ වෙනසක් ඇති කිරීම මගේ වැඩිහිටියන් මගෙන් අපේක්ෂා කළා"ජාතික NAIDOC කමිටුවේ සම-සභාපති,නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Dr Lynette Riley
තවද තම ප්‍රදේශයේ දේශීය ආදිවාසී ගෝත්‍රික කණ්ඩායම්, සංවිධාන සහ පුද්ගලයන් ගැන වැඩිදුර ඉගෙන ගන්නා ලෙස ඇය සියලුම ඕස්ට්‍රේලියානුවන් දිරිමත් කළාය.
NAIDOC කමිටු සම සභාපති ස්ටීවන් සැටූර් යනු මධ්‍යම ඕස්ට්‍රේලියාවේ Pitjantjatjara, Yankunytjatjara සහ Pertame වරිගයන් ගෙන් පැවත එන පුද්ගලයෙකි.
NAIDOC සතියේ මෙවර තේමාව තමා වැදගත් කොට සලකන බව ඔහු පවසයි.
පසුගිය වසර කිහිපය තුළ, ආදිවාසී ප්‍රජාවේ සැබවින්ම කැපී පෙනෙන පුද්ගලයන් මිය ගිය බවත් මෙවර තේමාව මගින් වැඩිහිටියන්ගෙන් ඔවුන්ගේ සියලු ප්‍රඥාවන්, සහ සියලු සජීවී අත්දැකීම්, ඉගෙන ගැනීමට කාලය ගත කළ යුතු බව මතක් කර දෙන බව ඔහු පවසයි.
NAIDOC සතිය සමරන්නේ කෙසේද?
ඔස්ට්‍රේලියාව පුරා, ප්‍රාදේශීය කවුන්සිල , ප්‍රජා කණ්ඩායම් සහ ක්‍රීඩා සමාජ එක්ව NAIDOC සතිය වෙනුවෙන් සැමරුම් උත්සව පවත්වනු ලබයි.
මෙම වසරේ තේමාව මගින් ඔහුට වැඩිහිටියන්ගෙන් ආභාෂය ලබා ගැනීමට ඉඩ සලසන බව NAIDOC කමිටු සාමාජික Bedford මහතා කියා සිටී.
ඔවුන්ට පෙර ඔවුන්ගේ වැඩිහිටියන් විවිධ කාලවලදී මීට වඩා අඩු සම්පත් සහ අඩු අවස්ථාවන් තිබියදී කළ කී දේ පිළිබඳ කථා ඇසීම ආශ්වාදජනක යැයි පැවසූ ඔහ,ු ආදි වාසී වැඩිහිටියන් වෙනුවෙන්, ආදිවාසී ජනතාව වෙනුවෙන් සහ ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් එම සටන දිගටම කරගෙන යාමට එමගින් ඔහු දිරිමත් වන බව කියා සිටියේය.
Indegenous Voice Referendum හෙවත් ආදිවාසී හඬ පිළිබඳ ජනමත විචාරණයේදී ආදිවාසීන්ට පාර්ලිමේන්තු නියෝජනයක් අවශ්‍ය බවට සහාය පල කරන Yes ප්‍රචාරක ව්‍යාපාරයට සහාය දීම ඔහු මෙයින් අදහස් කර සිටී.
මම හිතන්නේ අපේ වැඩිහිටියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගැනීම වැදගත්. නූතන ඔස්ට්‍රේලියාවේ සමාරම්භක ලේඛන වලින් අපේ මුතුන්මිත්තන් බැහැර කොට ඇති බැවින් මේ එය වෙනස් කිරීමට කාලයයි.NAIDOC කමිටු සාමාජික Kenny Bedford
NAIDOC සතිය තුළ රජයේ නිවාඩු දිනයක් තිබේද?
වසර ගණනාවක් පුරා NAIDOC සතිය තුළ රජයේ නිවාඩු දිනයක් ඉල්ලා සිටියද මෙතෙක් එම ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාර ලැබී නැත.
වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු ජාතීන්ගේ මහජන සභාව විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී මේ වෙනුවෙන් පෙත්සමක් දියත් කොට තිබේ.
එහිදී ඔස්ට්‍රේලියාවේ පළමු ජාතීන්ගේ සංස්කෘතිය පිළිබඳව පුළුල් ලෙස ප්‍රජාව දැනුවත් කිරීමට සහ පළමු ජාතීන්ගේ බොහෝ ජයග්‍රහණ සැමරීම වෙනුවෙන් NAIDOC දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
මෙම පළමු ජාතීන්ගේ සභාව යනු වික්ටෝරියා ප්‍රාන්තයේ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා වලදී පාරම්පරික හිමිකරුවන් නියෝජනය කරන ස්වාධීන සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ආයතනයයි.
NAIDOC සතියේ මූලාරම්භය විරෝධතා ව්‍යාපාරයක් බව අමතක නොකළ යුතු යැයි එම පෙත්සමෙහි සඳහන් වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු ජාතීන්ගේ සභාව සහ ඔවුන්ගේ ගිවිසුම් පිළිබඳ වැඩ කටයුතු සියල්ල, NAIDOC පිහිටුවීම සඳහා සටන් කළ පුරෝගාමීන්ගේ ක්‍රියාකාරීත්වය මත ගොඩ නැගී ඇති බව ඔවුන් පවසයි.
NAIDOC සතිය යනු ඔස්ට්‍රේලියානු ප්‍රජවේ, සංස්කෘතියේ සහ රටෙහි ජාතික සැමරුමක් බවට පරිණාමය වී ඇති ආදි වාසීන් සිහිකිරීමේ සහ ඔවුන් එල්ල කළ ප්‍රතිරෝධයේ වාර්ෂික සැමරුමක් වේ.