ඔස්ට්‍රේලියාවේ සිදුවූ හයවන කොරෝනා මරණයද වාර්තා වන අතරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව අද (18/03) දිනයේදී 27 කින් ඉහළ ගොස් තිබේ.
ඊයේ (17/03) රාත්‍රිය වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 94 ක්ව තිබූ නමුත් අද දිනයේ ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් පස්වරු 2 වන විට එම ප්‍රමාණය 121 දක්වා ඉහළ ගොස් තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මේ අතරේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි සිදුකරන කොරෝනා පරීක්ෂණය වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු කරගත හැක්කේ කොතැනද යන්න බොහෝ දෙනෙකුට ඇතිවී ඇති ප්‍රධාන ප්‍රශ්නයකි.
එම ගැටළුවට මෙම ලිපිය හරහා පිළිතුරු ලබාගත හැකිය.

Source: Pixabay
වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණය
සෑම පුද්ගලයෙකුම කොරෝනා පරීක්ෂණය සිදුකරගැනීම අවශ්‍ය නොවන බව වෛද්‍ය මතය වී තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවට අනුව කොරෝනා පරීක්ෂණය සඳහා යොදාගනු ලබන swabs සහ reagent පරීක්ෂණ කට්ටලවල සැලකිය යුතු හිඟයක් මේ වන විට පවතින බව වාර්තා වේ.
ඒ අනුව පහත සඳහන් ගනයේ පුද්ගලයින්ව පරීක්ෂා කිරීමට ඔවුන් ප්‍රමුඛත්වය ලබා දෙන බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.
- පසුගිය දින 14 ක කාලය තුළ විදේශ රටක සිට පැමිණි උණ සහිත හෝ රහිතව ශ්වසන රෝග වර්ධනය වූ පිරිස්
- පසුගිය දින 14 ක කාලය තුළ කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයෙකු සමග සම්බන්ධකම් පැවැත්වීමෙන් අනතුරුව උණ සහිත හෝ රහිතව ශ්වසන රෝග වර්ධනය වූ පිරිස්
- පැහැදිලි හේතුවක් නොමැතිව නියුමෝනියා තත්ත්වයක් ඇතිවූ පිරිස්
- ශ්වසන රෝග සහ උණ වර්ධනය වූ සෞඛ්‍ය අංශ කාර්යය මණ්ඩල
කොරෝනා පරීක්ෂණය ඔබට කරගත යුතුද කියා දැනගැනීමට ඒ සම්බන්ධව පැය 24 පුරාම ක්‍රියාත්මක 1800 675 398 දුරකතන අංකයට අමතන්න.
ඊයේ (17/03) උදෑසන වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ පුද්ගලයින් 11,700 ක් කොරෝනා පරීක්ෂණයට මුහුණ දී ඇති අතර ඉන් 94 දෙනෙකු හට එම වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
නමුත් අද දිනයේ (18/03) ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් පස්වරු 2 වන විට එම ප්‍රමාණය 121 දක්වා ඉහළ ගොස් තිබේ.

Source: Pixabay
කොරෝනා පරීක්ෂණය සඳහා යා යුත්තේ කොහෙටද?
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණය සිදුකරගැනීම සඳහා යා යුතු රෝහල් 19 ක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒවා පහත පරිදි වේ.
- The Alfred Hospital
- Albury Wodonga
- Austin Hospital
- Ballarat Base Hospital
- Barwon Health – Geelong
- Bendigo Hospital
- Box Hill Hospital
- Casey Hospital
- Echuca Hospital
- Kyneton District Health
- Monash Clayton
- Northern Hospital
- Peninsula Health – Frankston
- Phillip Island Health Hub
- The Royal Children's Hospital
- The Royal Melbourne Hospital
- St Vincent's Hospital Melbourne
- Sunshine Hospital
- Wonthaggi Hospital
කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ඇතිවන රෝග ලක්ෂණ යමෙකු පෙන්වයි නම් ඉහත මධ්‍යස්ථාන වෙත දුරකතන ඇමතුමක් දීමකින් තොරව සෘජුවම එම ස්ථාන වෙත යා හැකි බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: Pixabay
කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණීමට කොපමණ කලක් යයිද?
කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණීමට දින කිහිපයක් ගතවනු ඇති බව සඳහන්.
යම් පුද්ගලයෙකු හට බරපතල රෝග ලක්ෂණ ඇත්නම් එම පුද්ගලයාව රෝහලට ඇතුලත් කර අනෙකුත් රෝගීන්ගෙන් වෙනකොට තබනු ඇත.
යම් ආකාරයකින් කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණෙන තෙක් ඔබට නිවසේ රැදී සිටින ලෙසට උපදෙස් ලැබුණහොත් එම ප්‍රතිඵල ලැබෙන තෙක් සමාජයත් සමග සෘජු ගනුදෙනු සඳහා නොගොස් සිටින ලෙසට වෛද්‍යවරු උපදෙස් ලබා දෙයි.

Source: SBS Sinhala