KEY POINTS:
- NSW හි සිටින පුද්ගලයින්ට ළඟදීම තම සහකරුට ගෘහස්ථ ප්රචණ්ඩත්වයේ ඉතිහාසයක් තිබේදැයි සොයා ගැනීමට හැකි වනු ඇත.
- The Right to Ask යෝජනා ක්‍රමයට online ක්‍රමයට හෝ දුරකථන මාර්ග ඔස්සේ ප්‍රවේශ වීමට හැකි වනු ඇත.
- දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය දැනටමත් එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිටින පුද්ගලයින්ට ළඟදීම දුරකථන ඇමතුමක් ලබා දීමෙන් හෝ අන්තර්ජාල මාර්ගිකව (Online portal) භාවිතා කිරීමෙන් තම සහකරුට අපවාදාත්මක හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරු වුනු අතීතයක් තිබේදැයි සොයා බැලීමට හැකියාව ලැබෙනු ඇත.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත (NSW) රජය පවසන්නේ මේ වසරේ මාර්තු මාසයේ සිය රජය ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කළහොත් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
එහිදී තම සහකරුගේ පෙර වැරදි සම්බන්ධව පුද්ගලයන් වෙත තොරතුරු හෙළි කිරීමට පොලිසියට හැකියාව ලබා දෙන බව NSW රජය පවසයි.
පසු ගිය සඳුදා Right To Ask යෝජනා ක්‍රමය ප්‍රකාශයට පත් කරමින් NSW ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ පැවසුවේ, සිය සහකරුවන් , ගෘහස්ථ සහ ප්‍රචණ්ඩකාරී අපරාධ පිළිබඳ ඉතිහාසයක් ඇති අපරාධකරුවන් බව නොදැන සිටි කාන්තාවන් සහ පිරිමින් හිංසනයට ලක් වීම හෝ ඝාතනයට ලක් වීම පිළිබඳ බොහෝ සිද්ධීන් වාර්තා වී ඇති බවයි.
"සිය ආදරණීයයන් ගෘහස්ථ හිංසනයෙන් වද හිංසාවන්ට ලක්වනු දැකීමට අප කිසිවෙකුට අවශ්‍ය නොවන අතර ඔවුන්ට තම සහකරුගේ ඉතිහාසය ඉක්මනින් දැන ගැනීම ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු," යනුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ පැවසුවේය.
මෙම යෝජනා ක්‍රමය ගෘහස්ථ ප්රචණ්ඩත්වය හෙළිදරව් කිරීමේ යෝජනා ක්‍රමයක් (Domestic Violence Disclosure Scheme- DVDS) ලෙස හැඳින්වේ.
ගෘහස්ථ හිංසනය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ කුමක්ද?
ගෘහස්ත ප්රචණ්ඩත්වය පිළිබඳ NSW හි ප්‍රධාන විධායක නිලධාරිනී ඩේලියා ඩොනොවන් පැවසුවේ වින්දිතයන්ගෙන් දිවි ගලවා ගත් අය සහ උපකාරක සේවාවන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා සුදුසුම ක්‍රමවේදයක් සංවර්ධනය කරන තුරු මෙම යෝජනා ක්‍රමය මගින් තත්වයේ යම් වෙනසක් ඇති කරනු ඇති බවයි.
මෙම යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තවදුරටත් වැඩ කටයුතු සිදු කිරීමට ඇති නමුත් අග්‍රාමාත්‍යවරයා සමඟ සහයෝගීව ගන්නා ඇතැම් පියවර ගැන ඔවුන් ධනාත්මකව පසුවන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
"නිසි උපදේශනය යටතේ ආරක්ෂිතව සහ නිවැරදිව ක්‍රියාත්මක කළහොත් මෙම යෝජනා ක්‍රමය ඉතා වැදගත් වනු ඇත"
NSW ප්‍රාන්තය පුරා මෙවැනි සේවාවන් 150 ක් නියෝජනය වීමට අවශ්‍ය බව ඇය සඳහන් කළාය.
දිවි ගලවා ගත් වින්දිතයින් සහ ඔවුන්ගේ සේවාදායකයින් විසින් ඔවුන්ගේ හඬට මෙමගින් සවන් දෙන බව දැන ගත යුතු අතර මෙම යෝජනා ක්‍රමයට ප්‍රවේශ වන ආකාරය මෙන්ම එසේ කිරීම ආරක්ෂිත වන බව දැන ගැනීමට අවශ්‍ය බවත් ඇය පැවසුවාය.
"ජීවිතයක් බේරා ගත හැකි ඕනෑම දෙයක් ඵලදායී දෙයක් වේ"
Full Stop Australia හි ප්‍රධාන විධායක නිලධාරීනී Hayley Foster විසින් මෙම යෝජනා ක්‍රමය පිළි ගෙන තිබේ.
"අපි මෙයින් අතිශයින් සතුටට පත්වන අතරම මෙම ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූ කාන්තාවන්ගේ සහ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූවන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා සැබෑ, ප්රත්යක්ෂ පියවර සහ තීරණ ගැනීම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් රජයට ප්‍රශංසා කළ යුතුය."
මෙම යෝජනා ක්රමයේ ප්‍රධාන සාධකය එයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව යැයි Foster මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
"මෙම යෝජනා ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වනු ඇත්තේ ජනතාවට මෙහි යෙදීම online හෝ දුරකථනය හරහා කළ හැකි වීම මගිනි. එය සම්පූර්ණයෙන්ම රහසිගත වනු ඇත. මෙම තොරතුරු ඉල්ලා සිටීමට පොලිස් ස්ථානය වෙත යාම තරම් විශාල පියවරක් ලෙස මෙම ක්‍රමය හැඟෙන්නේ නැත."
DVDS යෝජනා ක්‍රමය ඇති කිරීමට හේතු වූයේ කුමක්ද?
මෙම යෝජනා ක්‍රමය එක්සත් රාජධානියේ Clare's law මත පදනම් වේ.
2014 දී හඳුන්වා දුන් මෙම නීතිය සැලසුම් කර ඇත්තේ ගෘහස්ථ හිංසනයට ගොදුරු වීමෙන් කෙනෙකු ආරක්ෂා කිරීමට උපකාර වන තොරතුරු සැපයීම සඳහා ය.
ක්ලෙයාර් වුඩ් යනු Yorkshire ප්‍රදේශයේ සිටි 36 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය 2009 වසරේදී ඇගේ හිටපු පෙම්වතා විසින් ඝාතනය කරන ලදී.
ඇය සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයා අපරාධ ඉතිහාසයක් ඇති අයෙකු බව ඇය දැන සිටියේ නැත.
ඇය පොලිස් ප්‍රකාශයක් සිදු කර තහනම් නියෝගයක් ලබාගෙන සිටි අතර ඇයගේ හිටපු පෙම්වතාගේ ප්රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසය ගැන පොලිසිය දැන සිටියේය.
නමුත් කිසිදු අවස්ථාවක පොලිසිය විසින් වුඩ් මහත්මියව ඒ පිළිබඳව දැනුවත් කර නැත.
එකල පැවති දත්ත ආරක්ෂණ නීති මගින් හිටපු අපයෝජකයින්ට ඔවුන්ගේ අපරාධ වාර්තා රහසිගතව තබා ගැනීමට හැකි විය.
ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තවල මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
2018 වසරේදී DVDS යෝජනා ක්‍රමය ප්‍රථම වරට අත්හදා බැලීමක් ලෙස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේදී, ආරම්භ වූ අතර පුද්ගලයන් 1000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ වර්තමාන හෝ හිටපු සහකරුගේ අපරාධ ඉතිහාසය පිළිබඳ එමගින් තොරතුරු සොයා ගැනීමට හැකි වී තිබේ.
තොරතුරු නිකුත් කිරීම ක්ෂණික සිදු නොවන අතර ඒ සඳහා සති දෙකක් දක්වා කාලයක් ගත විය හැක.
මුහුණට මුහුණ හමුවකදී වාචිකව ඉදිරිපත් කරන ලද, ඔවුන් වෙත ලබා දී ඇති තොරතුරු පතුරුවා හැරීම හෝ අනිසි ලෙස භාවිතා නොකිරීමට අයදුම්කරුවන් එකඟ විය යුතු බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Flinders විශ්ව විද්‍යාලයේ සමාජ කටයුතු පිළිබඳ මහාචාර්යවරියක වන Sarah Wendt පැවසුවාය.

Sarah Wendt, a professor of Social Work at Flinders University in South Australia Source: Supplied
අයදුම්කරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් ගෘහස්ථ ප්රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ගේ උපදෙස් අනුව එවැනි තොරතුරු සන්නිවේදනය කිරීමේ ක්‍රමය සලකා බලනු ලැබේ.
මෙම යෝජනා ක්‍රමයෙන් ජනතාවට සෙතක් සැලසී තිබේද?
NSW රජය DVDS හි නියමු වැඩසටහනක් 2016 මැද සිට 2019 මැද දක්වා ක්‍රියාත්මක කර ඇත. මෙම නියමු වැඩසටහනේ පළමු වසර දෙකෙන් පසු 50 දෙනෙකුට තම සහකරුගේ ප්‍රචණ්ඩකාරී අතීතය ගැන දැනුවත් වීමට හැකි වූ බව වාර්තා වේ.
Oxley, Shoalhaven, Sutherland සහ St George යන ප්‍රදේශවල ක්‍රියාත්මක කළ DVDS නියමු වැඩසටහන ගැන නීතිය පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන ආචාර්ය Jane Wangmann මීට පෙර ඇගයීම් වාර්තාවක් ලියා තිබේ.
මෙම යෝජනා ක්‍රමය මගින් අයදුම්කරුවන් උපකාරක සේවා සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව මෙන්ම අයදුම්කරුගේ අත්දැකීම් වල වලංගු භාවය දැන ගැනීමට හැකි වීම මෙහි තවත් ධනාත්මක පැතිකඩක් වන බව ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, ඇය ඇගයීම් වාර්තාව තුළ ගැටළු ගණනාවක් සටහන් කර තිබේ.
"හෙළි කිරීමට කිසිවක් නැත" යන පිළිතුර ආපසු ලබා දීමෙන් අයදුම්කරුවෙකුට තමන් ආරක්ෂිතයි යන ව්‍යාජ හැඟීමක් ලබා දිය හැකි බවත් තම සහකරුගේ හැසිරීම් පිළිබඳ ඔවුන් සැලකිලිමත් වන කාරණා නීත්‍යානුකූල නොවන බව සිතීමට පෙළඹවීමක් ඇති කරන බවත් යන කරුණු එම ගැටළු අතර වේ.
'පළමු මැදිහත්වීම' ලෙස විස්තර කර තිබුණද, අයදුම්කරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ වත්මන් හෝ පෙර සහකරු සමඟ වසරක් හෝ ඊට වැඩි කාලයක් සම්බන්ධකම් පවත්වා ඇති අතර ඉන් සියයට 38 දෙනෙක්ම දැනටමත් ශාරීරික ප්රචණ්ඩත්වය අත්විඳ ඇති බව Wangmann මහත්මිය ලියූ වාර්තාවේ සඳහන් වේ.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වැඩසටහන පිළිබඳ විධිමත් ඇගයීම් පර්යේෂණ කිසිවක් තමාට නොතිබුණද, බොහෝ අය එය සාර්ථක වූවක් ලෙස සලකන බව Wendt මහත්මිය පැවසුවාය.
අනාවරණය කිරීමේ යෝජනා ක්‍රමයට මෙතෙක් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි විමසීම් ප්‍රමාණයක් ලැබී ඇති අතර එවැනි වූ ඉල්ලුම පවතින බැවින් අපගේ ප්‍රාන්ත රජය, සෙන්ටර්කෙයර් සමඟ එක්ව එයට අරමුදල් දිගටම ලබා දී ඇතැයි ඇය පැවසුවාය.
එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රිරියාත්මක කළ හැක්කේ කොතැනින්ද?
Claire's Law නීතිගත කිරීමෙන් පසු ලෝකයේ විවිධ ප්‍රදේශවල මීට සමාන නීති හඳුන්වා දී ඇත.
NSW ප්‍රාන්ත රජය මෙම යෝජනා ක්‍රමය පිළිබඳව ක්‍රියා කරමින් සිටින අතර මේ වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන මීළඟ ප්‍රාන්ත මැතිවරණයේදී ඔවුන්ම නැවත බලයට පත් වුවහොත් එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.
එයින් මාස 12 කට පසුව මෙම යෝජනා ක්‍රමය සමාලෝචනය කිරීමට ද NSW ප්‍රාන්ත රජය සැලසුම් කරයි.
NSW හි විපක්ෂ නායක ක්‍රිස් මින්ස් පැවසුවේ තමන් මෙම අදහසට ප්‍රතිපත්තිමය වශයෙන් සහය දක්වන නමුත් තම පක්ෂය රජයක් පිහිටු වන්නේ නම් එවැනි යෝජනා ක්‍රමයකට කැපවීමට පෙර ඒ පිළිබඳ වැඩි විස්තර සොයා බැලීමට අවශ්‍ය වන බවයි.
"අපි මේ සඳහා යමක් කළ යුතුයි. මෙම ප්‍රදේශයේ එක් මරණයක් එක් මරණයක් පමණක්ම නොවේ." යනුවෙන් ඔහු පැවසීය.
"අපි නව මුල පිරීම් සහ අදහස් ගැන සිතිය යුතුයි."
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයද මෙවැනිම යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සලකා බැලූ අතර, 2017 වසරේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නීති ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා වාර්තාවක් මගින් DVDS යෝජනා ක්‍රමය හඳුන්වාදීමට එරෙහිව නිර්දේශ කරන ලදී.
ගෘහස්ථ හා පවුල් ප්රචණ්ඩත්වය අවම කිරීම, ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ අවදානමට ලක්ව සිටින පුද්ගලයන් සඳහා සහය දැක්වීම හෝ අපරාධකරුවන්ගේ වගවීම වැඩිදියුණු කිරීම සඳහා එවැනි යෝජනා ක්‍රම ඵලදායී බවට සාක්ෂි නොමැති බව එම වාර්තාවේ සඳහන් වේ.
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත්නම්, 1800 737 732 ට 1800RESPECT අමතන්න හෝ වෙත පිවිසෙන්න. හදිසි අවස්ථාවකදී, 000 අමතන්න.