Key Points
- වසර දහස් ගණනක් පුරා ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සංස්කෘතික ආචාර විධි නිරීක්ෂණය කර තිබේ
- ස්වදේශික වැඩිහිටියන් යනු ගැඹුරු සංස්කෘතික දැනුම බෙදාහදා ගත හැකි ගෞරවනීය ප්‍රජා සාමාජිකයින් වේ
- ඔබ ස්වදේශික සංස්කෘතියට ගෞරවාන්විත වන තාක් කල්, ඔවුන්ගේ සංස්කෘතිකමය ප්‍රොටෝකෝල පිළිබඳ ප්‍රශ්න ඇසීමට බිය නොවන්න
- සුදුසු සහ සංවේදී භාෂාවක් භාවිතා කිරීම ගෞරවය පෙන්වීමට වන සරල ක්‍රමයකි
ස්වදේශික ප්‍රජාවේ සංස්කෘතිකමය ප්‍රොටෝකෝල හෙවත් ඔවුන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නිවැරදි හැසිරීම් සහ ක්‍රියාපටිපාටි පැහැදිලි කරන නීති පද්ධතිය පදනම් වී ඇත්තේ අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සමඟ අපගේ පුද්ගලික සබඳතා හැඩගස්වන සදාචාරාත්මක මූලධර්ම මත ය.
ඔවුන් ඕස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් වන බැවින් මෙම සබඳතා පෝෂණය කිරීම වැදගත් වේ.
ඔවුන්ට භූමිය පිළිබඳ සමීප දැනුමක් ඇති අතර අපගේ පරිසරය රැකබලා ගැනීම පිළිබඳව අපට ඉගැන්විය හැකිය.
Caroline Hughes ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ Ngunnawal වැඩිහිටියෙකි.
ස්වදේශික වැඩිහිටියෙකු ලෙස, ඇයගේ ගැඹුරු සංස්කෘතික දැනුම නිසා ඇය ඉහළ ගෞරවයට පාත්‍ර වී තිබේ.
Caroline පවසන්නේ ස්වදේශික ප්‍රජාව තුල තිබෙන විශ්වාස සහ සංස්කෘතික ආචාර විධි ආරම්භයේ සිටම ඈතට දිව යන අතර එය නූතන ඕස්ට්‍රේලියාවේ අදටත් අපගේ ජීවිතයේ කොටසක් වන බවයි.
ස්වදේශික ප්‍රජාවේ සංස්කෘතිකමය ප්‍රොටෝකෝල නිරීක්ෂණය කිරීමෙන්, පළමු ජාතීන්ට භූමිය සහ ඔවුන්ගේ පැරණි භාවිතයන් සමඟ ඇති නොබිඳුණු සම්බන්ධය පිළිබඳව අපට දැනගත හැක.
SBS හි වැඩිහිටියකු වන Rhoda Roberts ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ සංස්කෘතීන් අඛණ්ඩව භාවිතා කිරීමට සහාය දක්වයි.
Rhoda කියා සිටින්නේ ස්වදේශික ප්‍රජාව යුග ගණනාවක් තිස්සේ වාචික කථා, ප්‍රොටෝකෝල සහ චාරිත්‍ර දිගටම කරගෙන ගිය අතර අපගේ භූමිය, අපගේ මුහුද සහ අපගේ ජල මාර්ග සහ අහස මෙන්ම රට ගැන සැලකිලිමත් වීම අප කවුරුන්ද යන්න පිළිබඳ සමස්ත දර්ශනය වන බවයි.

Aboriginal dancers perform during the welcome to country before the friendly between AC Milan and AS Roma at Optus Stadium on May 31, 2024 in Perth, Australia. Credit: Paul Kane/Getty Images
අප ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් වෙත යොමු විය යුත්තේ කෙසේද?
ස්වදේශික ප්‍රජාවට ‘Aboriginal’ හෝ ‘Torres Strait Islander’ ලෙස භාවිත කිරීම ඕස්ට්‍රේලියාව පුරා සුදුසු බව Caroline පවසයි.
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල නිතර භාවිතා වන 'Koori', ක්වීන්ස්ලන්තයේ 'Murray' සහ ටස්මේනියාවේ 'Palawa' වැනි ස්වදේශික ප්‍රජා තමන් සිටින ස්ථානයට සම්බන්ධ වීමෙන් ද තමන්ව හඳුනා ගනී.
Caroline කියා සිටින්නේ තමාව Ngunnawal කාන්තාවක ලෙස හැඳින්වීමට කැමති බවයි.
එය තමාගේ භුමිය, භාෂාව සහ ගෝත්‍රික කණ්ඩායම වන අතර එය තමා පැමිණියේ කොහෙන්ද යන්න අනෙකුත් ආදිවාසී ජනතාවට කියන බවත් ඇය කියා සිටි.
එකිනෙකාට වෙනස් වූ ස්වදේශික ජනතාව
Torres Strait Islanders යනු Cape York අර්ධද්වීපයේ සහ පැපුවා නිව්ගිනියාවේ කෙළවර අතර දූපත් වල ස්වදේශික ජනතාව වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් මෙලනේසියානු සම්භවයක් ගනී.
Thomas Mayo ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ සමුද්‍රීය සංගමයේ සහකාර ජාතික ලේකම් වශයෙන් ඔහු කටයුතු කරයි.
සියලු පළමු ජාතීන්ට තරමක් වෙනස් සංස්කෘතීන් තිබෙන බවත් නමුත් දූපත් වැසියන් සහ ස්වදේශික සංස්කෘතිය අතර පැහැදිලි වෙනසක් තිබෙන බවත් Thomas සඳහන් කරයි.

Both the Aboriginal and Torres Strait Islander flags are flown alongside the Australian national flag Source: AAP / AAP Image/Mick Tsikas
ගෞරවනීය භාෂාවක් භාවිතා කිරීම
‘Indigenous’, ‘Aboriginal’, ‘Torres Strait Islander’ සහ ‘Elder’ යනු ස්වදේශික ප්‍රජාව ආමන්ත්‍රණය කරන නියම නම් ලෙස හැඳින්විය හැක.
කෙසේ නමුත් කෙටි නම් යොදාගැනීම නුසුදුසු බව Caroline Hughes කියා සිටී.
කිසි විටෙකත් ‘Aboriginal’ යන නාමය කෙටියෙන් යෙදීම සිදු නොකරන ලෙසත් එවැනි වචන භාවිතය ස්වදේශික ප්‍රජාවේ සිත් රිදවන බවත් ඇය කියා සිටී.
ස්වදේශික වැඩිහිටියන් යනු කවුද?
වැඩිහිටියන් ගැඹුරු සංස්කෘතික දැනුමක් ඇති ගෞරවනීය ප්‍රජා සාමාජිකයින් වේ.
ඔවුන්ව ‘Aunty’ සහ ‘Uncle’ ලෙස හඳුන්වයි.
ස්වදේශික නොවන පුද්ගලයින්ට මෙම නම් භාවිතා කළ හැකිද යන්න පළමුව විමසීම සුදුසුය.
Welcome to Country යන පිළිගැනීම බොහෝ විට සිදු කරනු ලබන්නේ ප්‍රජාවේ වැඩිහිටියන් විසිනි.
‘Welcome to Country’ යනු කුමක්ද?
වසර 1980 ගණන්වල Rhoda Roberts විසින් නිර්මාණය කරන ලද, Welcome to Country යනු අතීතයට ගෞරව කිරීම සඳහා යම් උත්සවයක් විවෘත කිරීමේ දී පවත්වනු ලබන සම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයකි.
එය කථාවක්, නර්තනයක් හෝ smoking ceremony හෙවත් දුම් භාවිතයෙන් සිදු කරන පිළිගැනීමක් විය හැක.
ඒ හා සමානව, ‘Acknowledgement of Country’ යනු සැලකිය යුතු රැස්වීම් වලදී පිළිගැනීමේ ප්‍රොටෝකෝලයක් වන අතර එය ඕනෑම කෙනෙකුට සිදු කළ හැකි බව Rhoda Roberts පවසයි.
පිළිගැනීම යනු, ඔබ සාමාන්‍යයෙන් වැඩ කරන හෝ ඔබ පැමිණි ස්ථානය නොවන ස්ථානයක ගැටලුවකින් තොරව ජිවත් විය හැකි බවට හඳුනා ගැනීමයි.
එමෙන්ම ඔබ එයට අයත් වන අතර තවමත් ඔබ සිටින ප්‍රදේශයේ භාරකරුවන් සහ වැඩිහිටියන් පිළිගෙන ඔවුනට ස්තූති කිරීම සිදු කරන බවට මෙයින් අදහස් වේ.

An Indigenous performer participates in a smoking ceremony. Source: Getty / Cameron Spencer/Getty Images
භාවිතයට නුසුදුසු භාෂාව
ළමයින් බලහත්කාරයෙන් ඉවත් කිරීම නිසා ඇති වූ ඓතිහාසික කම්පනය ඔවුන්ගේ පසුබිම පිළිබඳ ප්‍රශ්නවලට මිනිසුන් ප්‍රතිචාර දක්වන ආකාරය කෙරෙහි බලපාන බව Caroline Hughes කියා සිටී.
අපගේ දරුවන් හැදී වැඩී ඇත්තේ අපගේ සංස්කෘතිය තුළ වන අතර සම, ඇස් සහ හිසකෙස් වර්ණ ගැන කතා කිරීම නුසුදුසු වන බව Caroline කියා සිටී.
අතීතයේදී සුදු සමාජය හෝ ස්වදේශික නොවන සමාජය මෙම දරුවන් ප්‍රතික්ෂේප කළ අතර එය මීට ප්‍රධාන හේතුව වේ.
වැඩිදුර ඉගෙනීම ඔස්සේ ගෞරවය පෙන්වීම වැදගත් වේ
ඔබ අව්‍යාජ සහ ගෞරවනීය ස්ථානයක සිට පැමිණෙන තාක් කල්, ප්‍රොටෝකෝල පිළිබඳ ප්‍රශ්න ඇසීමට බිය නොවිය යුතු වේ.
වැදගත්ම දෙය නම් පැහැදිලි කිරීම්වලට සවන් දීම සහ පිළිගැනීම සහ ගෞරවාන්විතව ඉදිරියට යාම වන බව Thomas Mayo පෙන්වා දෙයි.
සියලු දෙනාම භාෂා රැසකින් තිබෙන Uluru Statement from the Heart යන ප්‍රකාශය කියවා එහි යෝජනාවලට සහාය දෙන ලෙසද Thomas යෝජනා කරයි.
එමෙන්ම ස්වදේශික සංස්කෘතිකමය ප්‍රොටෝකෝල අත්‍යවශ්‍යයෙන්ම ඔබේ සෙසු මිනිසුන් පිළිගැනීම බව SBS හි වැඩිහිටි Rhoda Roberts මතක් කර දෙයි.
_______________________________________________________________________________________________________________________________
මෙය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2022 මැයි මාසයේදීය.