Key Points
- Medicare සහ Pharmaceutical Benefits Scheme යනු, ඕස්ට්‍රේලියාවේ සහනාධාර සහිත ලොව පුරා පිළිගන්නා සෞඛ්‍ය සේවා පද්ධතියේ කොටසකි
- Medicare කාඩ්පත් හිමියන්, බොහෝ වෛද්‍ය සේවා සඳහා ඉතා සුලු මුදලක් ගෙවයි
- ඔබ bulk bills නොහොත් 'තොග බිල්පත්' ලබා දෙන වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා ගියහොත් ඔබට පෞද්ගලිකව මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ
- ඇතැම්විට Medicare කාඩ්පත් හිමියන්ට භාණ්ඩයක හෝ සේවාවක සම්පූර්ණ පිරිවැය සහ රජය සහනාධාර වශයෙන් ලබා දෙන මුදල අතර වෙනස(gap) ගෙවීමට සිදු විය හැක
ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය වන Medicare සඳහා ලියාපදිංචි වීමෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ සරණාගතයින්ට නොමිලේ හෝ අඩු වියදමකින් වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගත හැක.
Medicare සේවාව, Pharmaceutical Benefits Scheme (PBS) නොහොත් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සමඟ සමගාමීව ක්‍රියා කරයි, ඒ ඔස්සේ වෛද්‍ය සහතිකය සහිත ඖෂධ සඳහා සහනාධාර ලබා දීම සිදු වේ.
Services Australia වෙබ් අඩවිය හරහා Medicare වෙත ලියාපදිංචි වීම මෙම යෝජනා ක්‍රම වෙත ප්‍රවේශ වීමේ පළමු පියවර වශයෙන් සැලකේ.
Services Australia හි ප්‍රජා තොරතුරු නිලධාරී, Justin Bott පවසන්නේ, ඔබ Medicare සමඟ ලියාපදිංචි වීමෙන් අනතුරුව Services Australia මගින් ඔබේ Medicare කාඩ්පත එවන අතර ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවීමට යන විට එම Medicare කාඩ්පත ඔබ රැගෙන යා යුතු බවයි.
මෙම Medicare කාඩ්පත ඔස්සේ බෙහෙත් වට්ටෝරු සඳහා සහ වෛද්‍ය බිල්පත් සඳහා වන මිලගණන් අඩු කරගත හැක. එමෙන්ම bulk billing හරහා කිසිදු මුදලක් නොගෙවා සිටීමටද හැකියාව පවතී.
ඔබ අසනීප වූ විට කළ යුතු දේ
ඔබට ඕස්ට්‍රේලියාවේදී අසනීපයක් ඇති වූ විට, හදිසි අවශ්‍යතාවයක් නොවේ නම්, ඔබ පළමුව වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ පවුලේ වෛද්‍යවරයෙකු (GP) වෙත යා යුතුය.
නමුත් හදිසි අවශ්‍යතාවයක් නම් එවැනි අවස්ථාවක, ඔබට සෘජුවම රෝහල් හදිසි ප්‍රතිකාර අංශයට යා හැක.
බොහෝ අවස්ථාවලදී, අසනීප බවක් දැනෙන විට හෝ වෛද්‍ය පරීක්‍ෂණයක් අවශ්‍ය වන පුද්ගලයින් පවුලේ වෛද්‍යවරයෙකු (GP) හමුවීම සිදු කරයි.
දශක ගණනාවක් තිස්සේ සිඩ්නි හි උතුරු ප්‍රදේශයේ වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කරන වෛද්‍ය Douglas Hor පවසන්නේ බොහෝ විට ඕස්ට්‍රේලියාවේ පවුල් වෛද්‍යවරයා, තමන් වෙත පැමිණෙන රෝගීන්ගෙන් 80-90%ක් දෙනා සඳහා ප්‍රතිකාර සැපයීම සිදු කරන බවයි.

Source: AAP
පවුල් වෛද්‍යවරයා ඔබේ රෝග ලක්ෂණ වලට ඇහුම්කන් දී ඔබේ ගැටලුව කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කරන බවත්, ප්‍රතිකාර සඳහා කළ යුතු දේ සහ සියල්ල රෝගියාට පැහැදිලි කිරීම සිදු කරන බවත් වෛද්‍ය Douglas පෙන්වා දෙයි.
අවශ්‍ය පරිදි වැඩිදුර පරීක්ෂණ හෝ වෙනත් වෛද්‍ය ක්‍රියා පටිපාටි සඳහා රෝගීන් යොමු කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමද ඕස්ට්‍රේලියාවේ පවුල් වෛද්‍යවරුන් සිදු කරයි.
මානසික සෞඛ්‍ය විශේෂඥයන් ඇතුළුව වැඩිදුර පරීක්ෂණ සඳහා රෝගීන්ව වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම හෝ ඔවුන්ව රෝහලක් වෙත යොමු කිරීමත් පවුල් වෛද්‍යවරයා සිදු කරයි.
පවුල් වෛද්‍යවරුන් විසින් රෝගීන්ට ෆාමසිවලින් ඖෂධ මිලදී ගැනීමට බෙහෙත් වට්ටෝරු ලබා දෙන අතර එන්නත් නිර්දේශ කිරීමත් සිදු කරයි.
Bulk-billing කිරීම සහ ඔබට ඔබේ මුදල් ආපසු ලබා ගත හැකි ආකාරය
Bulk-billing ඔස්සේ ඇතැම් වෛද්‍ය සේවා සඳහා Medicare මගින් සම්පූර්ණයෙන්ම මුල්‍යමය සහනාධාර ලබා දීම සිදු කරයි. නැතහොත් අර්ධ වශයෙන් පමණක් ආවරණය කිරීමත් සිදු කරයි.
රෝගීන්ට ඇතැම් විට සම්පූර්ණ ගාස්තුව හෝ සේවාවේ පිරිවැය සහ Medicare අරමුදල් අතර වෙනස (Gap) ගෙවීමට සිදු විය හැක.
Medicare සහ GPපවුල් වෛද්‍යවරයා අතර සේවාව සඳහා වන සහනාධාර පද්ධතියේ වැදගත් අංගයක් වශයෙන් මෙම Bulk-billing පහසුකම් නොහොත් තොග බිල්පත් පහසුකම් හැඳින්විය හැක.
ඔබ Bulk-billing පහසුකම් ලබාදෙන වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා ගියහොත්, අවසානයේ ඔබට කිසිවක් ගෙවීමට අවශ්‍ය නොවේ.
වෛද්‍ය Douglas පෙන්වා දෙන්නේ, ඔබට ලබාදෙන වෛද්‍ය උපදේශන Medicare හරහා සෘජුවම රජයට බිල් කරනවාද, නැතහොත් රෝගියාගෙන් පුද්ගලිකව මුදල් අය කරන්නේද යන්න වෛද්‍යවරයා සහ එම මධ්‍යස්ථානය සතු බවයි.
ඔබ Bulk-billing පහසුකම් ලබාදෙන වෛද්‍යවරයකු වෙත ගියහොත්, පුද්ගලික ගාස්තුවක් නොගෙවා Medicare හරහා ගාස්තුව ගෙවීමට ඔබට හැකියාව හිමි වේ.

Seniors and low-income Australians may access additional discounts. Credit: filadendron/Getty Images
නමුත්, ඔබට තවමත් Medicare හරහා එම මුදලින් කොටසක් ආපසු ලබා ගැනීමටද හැකියාව පවතී.
ඔබ හමු වූ වෛද්‍යවරයාගේ කාර්යාලය ඔස්සේ සිදු කරන හිමිකම් පෑම, Medicare මගින් මුදල් ආපසු ලබා ගැනීමට ඔබට ඇති පහසුම ක්‍රමය වේ.
මින් අනතුරුව ඔබේ බැංකු ගිණුමට Medicare ඔස්සේ ආපසු මුදල් ලබාදීම සිදු කරයි. යම් හෙයකින් ඔබට Medicare වෙත යාමට සිදු වුවහොත් එයද ඔබට Online ඔස්සේ සිදු කල හැකි බව Services Australia හි Justin කියා සිටී.
ඕස්ට්‍රේලියාවේ බදු ගෙවන්නන්, ආදායම් බදු ක්‍රමය හරහා Medicare අරමුදල් සපයයි, මෙය පුද්ගලයින්ගේ වයස සහ පුද්ගලික පවුල් තත්වයන් අනුව වෙනස් වේ.
අවදානමට ලක්විය හැකි, අඩු ආදායම්ලාභී ඕස්ට්‍රේලියානු පුරවැසියන්, සහන කාඩ්පත් හිමියන් සහ ඕස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ කාඩ්පත් හිමියන් වැනි ස්ථිර පදිංචිකරුවන්ට, අමතර Medicare ප්‍රතිලාභ සහ Pharmaceutical Benefits Scheme (PBS) සඳහා වට්ටම් ලැබේ.
Justin කියා සිටින්නේ Medicare පද්ධතිය සහ Pharmaceutical Benefits Scheme නොහොත් "ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය" යන දෙකම සඳහා ගෙවීම් සීමා පවතින බවයි. මෙම සීමා ඉක්මවා ගිය පසු, රෝගීන්ගේ වෛද්‍ය වියදම් සඳහා වට්ටම් ලබාදීම සිදු කරයි.
ඔබ වසර පුරා ප්‍රමාණවත් වෛද්‍ය වියදම් ගෙවන විට, ඔබ නිරායාසයෙන්ම එම සීමා කරා ළඟා වන බවත් ඉන් අනතුරුව ඔබ සිදු කරන වාරික ගෙවීම් වඩාත් ලාභදායී වන බවත් Justin පෙන්වා දෙයි.
ඔබ පවුලක් ලෙස ලියාපදිංචි වන්නේ නම්, ස්වාමිපුරුෂයා, භාර්යාව සහ දරුවන් සඳහා වන ගෙවීම් යටතේ එම සීමා සඳහා ඉක්මනින් ඔබට ළඟ විය හැක. මේ ඔස්සේ ඔබට ඖෂධ සඳහා හෝ වෛද්‍යවරයා සඳහා ගෙවන වියදම් අඩු විය හැක.
Medicare සහ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ
දන්ත වෛද්‍යවරුන් , ගිලන් රථ සේවා සහ ඇතැම් එන්නත් වැනි ඕස්ට්‍රේලියාවේ පොදු සෞඛ්‍ය සේවාවෙන් ආවරණය නොවන සේවා සහ ප්‍රතිකාර සඳහා ගෙවීමට පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණද රෝගීන්ට තෝරා ගත හැක.
පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ මගින් රෝගීන්ට පෞද්ගලික රෝහල්වලට යාමට ද ඉඩ සැලසෙන අතර එමඟින් හදිසි නොවන ශල්‍යකර්ම සහ වෙනත් පරීක්ෂණ සඳහා ඔවුන්ට ඉක්මනින් ප්‍රවේශ විය හැක.
ඕස්ට්‍රේලියාවේ පොදු සෞඛ්‍ය සේවා පද්ධතිය යටතේ, ඔබ පොදු සහ රැඳී සිටීමේ ලැයිස්තුවට ඇතුළත් වන අතර ඔබේ නම ඉහළට එන තෙක් ඔබට බලා සිටීමට සිදු වේ.
නමුත් පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණය මඟින් ඔබට පෞද්ගලික හෝ රජයේ රෝහලක ඔබේම වෛද්‍යවරයා තෝරා ගැනීමටත්, ඔබට රාජ්‍ය සෞක්‍ය පද්ධතියට වඩා කලින් සැත්කම සිදු කිරීමටත් ඉඩ සලසන බව වෛද්‍ය Douglas කියා සිටී.
ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ඉංග්‍රීසි භාෂාව හොඳින් කතා නොකරන රෝගීන් පරීක්ෂා කිරීමත් සිදු කරයි.
වෛද්‍ය Douglas පෙන්වා දෙන්නේ තමන් මෙහිදී බොහෝ විට පරිවර්තන පහසුකම් සහිත ජංගම දුරකථන apps භාවිතා කරන බවයි. කෙසේ වෙතත්, වඩාත් සංකීර්ණ පරිවර්තන කටයුතු සඳහා, ඔහු රජයේ පරිවර්තක සේවාව ලබා ගනී.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය Douglas පවසන්නේ, මෙය රජයේ සහනාධාර පරිවර්තක සේවාවක් වන අතර එම ස්ථානයේදීම පවුල් වෛද්‍යවරයාට රෝගියා සමග කටයුතු කළ හැකි බවයි.

Telephone and online virtual consultations have become more common in Australia since the COVID-19 pandemic. Credit: Phynart Studio/Getty Images
Telehealth සහ e-scripts සේවාවන්
බොහෝ රෝගීන්ට පෞද්ගලිකව වෛද්‍යවරයා හමුවීමට පැමිණීමට නොහැකි නම්, Telehealth සහ e-scripts සේවා ප්‍රයෝජන ගත හැක.
මෙම සේවා Medicare සහ Pharmaceutical Benefits Scheme මගින්ද ආවරණය කෙරේ.
යම් වෛද්‍යවරයකුගෙන් Telehealth සේවාව ලබාගැනීමට සුදුසුකම් ලැබීමට, රෝගියා මාස 12 ට පෙර සිට එම වෛද්‍යවරයාගේ රෝගියෙකු විය යුතුය.
Telehealth මඟින් වෛද්‍යවරයාට සෘජුවම ශ්‍රව්‍ය (Audio) හෝ දෘශ්‍ය (Video) මාධ්‍ය ඔස්සේ රෝගියා සමඟ කතා කිරීමට ඉඩ සලසයි.
වෛද්‍ය Douglas අවධාරණය කොට සිටින්නේ, e-scripts සේවාව ඔස්සේ QR කේතයක් සහිත පිටපතක් ලියා එය අදාළ රෝගියාට e mail කල හැකි අතර, එය රැගෙන යාම ඔස්සේ එම රෝගියාට ෆාමසියෙන් අදාළ බෙහෙත් ලබාගත හැකි බවයි.