ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු හඳුනාගෙන තිබේ.
SBS සිංහල සේවය
SBS Radio APP එකෙන් (Free download)
ඒ සමගම දින 10 ක් ඇතුළත කොරෝනා පරීක්ෂාවන් ලක්ෂයක් සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර ඇති බව අද (25/06) පැවති මාධ්‍ය හමුවකදී වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

Victorian Premier Daniel Andrews Source: AAP
අලුතින් කොරෝනා ආසාදිතයින් 33 ක්
ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 33 දෙනාගෙන් 7 දෙනෙකු හෝටල් වල නිරෝධායනය වෙමින් සිටි අය බවත් 9 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු මගින් ආසාදනය වූ බවත් වාර්තා වේ.
ඊට අමතරව තවත් 6 දෙනෙකු සාමාන්‍ය කොරෝනා පරීක්ෂාවන් මගින් හඳුනාගැනුණු අතර සෙසු 11 දෙනා විශේෂ මෙහෙයුම් වලින් හඳුනාගෙන තිබේ.
කොරෝනා වයිරසය ආසාදිත වික්ටෝරියානුවන් හත් දෙනෙකු රෝහල් ගත කර සිටින අතර එම හත් දෙනාගෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
පසුගිය පැය 24 තුළ කොරෝනා පරීක්ෂණ 20,304 ක් පවත්වා ඇති බවත් එය වික්ටෝරියානු ප්‍රාන්තය තුළ වාර්තාවක් බවත් ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

Source: AAP
දින 10 ක් තුළ කොරෝනා පරීක්ෂණ ලක්ෂයක්
එළඹෙන දින 10 ක් තුළ මෙල්බර්න් කලාපයේ උප නගර 10 ක කොරෝනා පරීක්ෂාවන් ලක්ෂයක් සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වන බව ප්‍රාන්ත අගමැතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේය.
පුද්ගලයාගෙන් පුද්ගලයාට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීම බහුලවම දක්නට ලැබෙන මෙල්බර්න් උප නගර මේ සඳහා තෝරාගන්නා බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව Keilor Downs, Broadmeadows, Maidstone, Albanvale, Sunshine West, Hallam, Brunswick West, Fawkner, Reservoir, සහ Pakenham යන උප නගර වල ඉදිරි දින කිහිපයේදී විශාල වශයෙන් කොරෝනා පරීක්ෂාවන් සිදු කෙරෙනු ඇත.
ඉන් පළමු දින තුන Keilor Downs සහ Broadmeadows උප නගර සඳහා පමණක් මූලිකවම අවධානය යොමු කරන බවත් සෙසු උප නගර වෙත ඉන් අනතුරුව අවධානය යොමු කරන බවත් ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
අදාළ ප්‍රදේශ වල නිවැසියන්ගේ දොරකඩටම විත් විශේෂ නියෝජිතයින් අදාළ නිවැසියන්ට කොරෝනා පරීක්ෂාව සඳහා ආරාධනා කරනු ඇති බවද ඔහු පැවසුවේය.
එහිදී ඔබට කොරෝනා රෝග ලක්ෂණ තිබීම හෝ නොතිබීම වැදගත් නොවන බවද ඔහු සඳහන් කළේය.
"එම උප නගර වල කොරෝනා වයිරසයට ධනාත්මක බවක් පෙන්වන සියලුම දෙනා අපට හඳුනාගැනීමට හැකිවුවානම් ඔවුන්ව නිවෙස් තුළම නිරෝධායනය කිරීමට හැකියාවක් පවතිනවා. ඒ අනුව මේ බරපතල තත්ත්වය ඉක්මණින් පාලනය කරගැනීමට අපට හැකිවේවි." යනුවෙන් වික්ටෝරියානු අගමැති Daniel Andrews වැඩි දුරටත් පැහැදිලි කළේය.

Source: Getty Images/ztockphotos
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට එන්න එපා
මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන වල වෙසෙන පුද්ගලයින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවත්වන AFL සහ NRL තරග වැනි ප්‍රධාන ක්‍රීඩා ඉසව් සහ උත්සව සඳහා පැමිණීමෙන් වැළකී සිටින ලෙසට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard ඉල්ලයි.
කොරෝනා වයිරසය ඉතා ශීග්‍රයෙන් පැතිරීමට හැකි බවත් විශාල ලෙස ජනයා ඒකරාශී වන ස්ථාන වල එම අවදානම ඉතා ඉහළ බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට මෙල්බර්න් කලාපයේ ඇතැම් උප නගර වල යළි හිස ඔසවා ඇති කොරෝනා වයිරසය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළද යළි හිස එසවිය හැකි බව ඔහු පැහැදිලි කළේය.
එනිසා මෙල්බර්න් වැසියන්ගෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීම වළක්වා ලීමට සහය වන ලෙස ඔහු සියලු මෙල්බර්න් වාසීන්ගෙන් ඉල්ලා සිටී.

Source: SBS Sinhala