Highlights
- නොදර්න් ටෙරටරියේ ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශය දින 3 ක කාලයක් සඳහා lockdown කෙරේ.
- AstraZeneca එන්නත ලබාදීමේ වයස් ඛාන්ඩය සම්බන්ද අගමැති මොරිසන් ගේ හදිසි තීරණය මතභේදයට තුඩු දෙයි
- ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවයි.
- චීනයේ වත්මන් පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂය අද දින තම සියවැනි සංවත්සරය සැමරීමට සැරසෙයි
- ශ්‍රී ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ සහ ඇනිකා ගෆූර්ට ඔලිම්පික් තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව හිමිවෙයි.
වික්ටෝරියා ප්‍රාන්තය, වැටුප් වංචා ක්‍රියා සාපරාධී නීතිය යටතට පත් කරයි.
රැකියාවකට අදාල නිර්දේශිත වැටුප් තලයට වඩා අඩු වැටුපක් සිතාමතා ගෙවීම සාපරාධී අපරාධයක් ලෙස නම්කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කරයි. මෙසේ වේතනය සොරකම් කිරීමේ නීති හෙවත් Wage theft laws නීතිගත කල පලමු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වෙයි.
වැරදි කරුවන් බවට පත්වන පුද්ගලයින් වසර 10 ක සිරදඬුවමකට යටත් කෙරෙන අතර ඩොලර් 198,264 ක දඩ මුදලකට යටත් කල හැකි වේ. සමාගමක් සඳහා, දඩය ඩොලර් 991,320 කි.
NT හි ඇලිස් ස්ප්‍රින්ග්ස් කලාපය lockdown
නොදර්න් ටෙරටරියට අයත් ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි දින 3 ක කාලයක් සඳහා lockdown කිරීමට ටෙරටරි රජය තීරණය කොට තිබේ. ඇලිස් ස්ප්‍රින්ග්ස් නගරයේ ගුවන්තොටුපොළ වෙත ගිය පතල් කම්කරුවෙකු කොරෝනා වෛරස් ආසාදනයට ලක්ව ඇති බවට සැක පිට මෙම තීරණය ගෙන තිබේ. මෙම පුද්ගලයා හට කොරෝනා ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් හට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ආහාරද්‍රවය මිලදී ගැනීම සඳහා ජනතාවට ඇලිස් ස්ප්‍රින්ග්ස් ප්‍රදේශය වෙත ඇතුළුවිය හැකි බව නොදර්න් ටෙරටරියෙහි ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් පවසා සිටී
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ ඇමතිවරයකුට හුදෙකලා වෙන්න එපා කියලා, පසුව ආපසු එසේ වෙන්න කියලා
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ ඇමතිවරයකු හට ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශය විසින් ලබා දී ඇති වැරදි තොරතුරු හේතුවෙන් නැවතත් හුදෙකලා වීමට සිදුව ඇති බව වාර්තා වේ.
කොවිඩ් පරීක්ෂණ වලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කෘෂිකර්ම අමාත්‍ය ඇඩම් මාෂල්ගේ සමීප ආශ්‍රිතයෙකු නොවන බවට වුනු තීරණයක් හේතුවෙන් පාරිභෝගික සේවා අමාත්‍ය වික්ටර් ඩොමිනෙලෝ , ස්වයං හුදෙකලා වීමෙන් මුදාහැරීමට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ නිර්දේශ කොට තිබිණ.
නමුත් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් හෙල්ත් විසින් පසුව තහවුරු කොට ඇත්තේ පාරිභෝගික සේවා අමාත්‍ය වික්ටර් ඩොමිනෙලෝ හට වෛරසයට නිරාවරණය වීමේ ස්වභාවය පිළිබඳව වැරදි උපදෙස් ලබා දී ඇති බවයි. ඔහු ඒ වන විටත් කොවිඩ් වෛරසයට නිරාවරණය වුනු කෘෂිකර්ම අමාත්‍ය ඇඩම් මාෂල්ගේ සමීප ආශ්‍රිතයෙකු බවට පසුව තහවුරු කොට ඇත. මේ හේතුවෙන් පාරිභෝගික සේවා අමාත්‍ය වික්ටර් ඩොමිනෙලෝ හට නැවත ස්වයං හුදෙකලා වීමට නිව් සවුත්වේල්ස් හෙල්ත් විසින් නිර්දේශ කොට ඇතැයි වාර්තා වේ. මෙම දෝෂය සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අංශය සමාව අයැද තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත සම්බන්ද අගමැති මොරිසන්ගේ තීරණය විවේචනයට
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය ඇනස්ටේෂියා පලාශේ ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත සම්බන්දව අගමැති ස්කොට් මොරිසන් විසින් දැනුම් දෙනු ලැබූ නවතම තීරණය විවේචනයට් ලක්කොට සිටී. මෙම සතිය මුලදී පැවති ජාතික කැබිනට් රැස්වීමෙන් අනතුරුව වයස අවුරුදු 40 ට අඩු අයටද ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත ලබාගැනීමේ අවස්ථා විවෘත කරන බව අගමැති ස්කොට් මොරිසන් විසින් නිවේදනය කොට සිටියේය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය පවසන්නේ අගමැති මොරිසන් මෙම තීරණය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බවයි.
ජාතික කැබිනට් මණ්ඩලයේ දී එකඟ වූ එකම වෙනස, ඇස්ට්‍රාසෙනෙකා එන්නත යමෙකු සඳහා අහිතකර ලෙස බලපාන්නේ නම් එම එන්නත්කරණය සිදුකල GP වෛද්‍යවරයා සඳහා නීතිමය රැකවරණයක් හඳුන්වා දීම පමණක් බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය ඇනස්ටේෂියා පලාශේ පවසා සිටියාය.
මේ අතර මේ සම්බන්දයෙන් අදහස් දක්වා සිටින ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ජෙනට් යන්ග් පවසා සිටිනුයේ තම ප්‍රාන්තයේ සිටින වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින් හට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමට අවකාශ සලසා ඔවුන් මාරාන්තික රුධිර කැටි ගැසීමේ අවදානමට ලක්කරලීමට අවශ්‍ය නැති බවයි.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත සම්බන්දව නිකුත් කෙරුණු මූලික වෛද්‍ය උපදෙස් වෙනස්වී නොමැති බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසයි.
කොවිඩ් ප්‍රතිශක්තිකරණය සඳහා වන ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදෙස් කමිටුව විසින් ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත නිර්දේශ කොට ඇත්තේ වයස අවුරුදු 60 ට ඉහල පුදගලයින් සඳහා පමණි. සුදුසු එන්නතක් තෝරාගැනීම සඳහා වෛද්‍යවරයා සහ රෝගියා අතර ඇතිවන එකඟතාවයට තමා මැදිහත් නොවන බවද සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඕස්ට්‍රේලියාවේ අද කොරෝනා තත්වය
අද උදෑසන වන විට ගතවුණු පැය 24 සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිඳු කොරෝනා ප්‍රජා ආසාදනයක් වාර්තා නොවේ. මෙම ප්‍රතිඵල ලැබී ඇත්තේ ඊයේ දිනයේ සිදුකල 29,000 කට අධික කොරෝනා පරික්ෂා කිරීම් වලින් අනතුරුව බවද සඳහන්. එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට විදෙස් වල සිට පැමිණ හෝටල් නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින් වෙතින් ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවේ.
මේ අතර දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු ප්‍රජා ආසාදනයක් වාර්තා නොවන බව සඳහන්
කෙසේ වෙතත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් ද නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 24 ක් ද හමුව තිබේ.
මේ අතර සිඩ්නි හි Royal North Shore රෝහලේ තවත් හෙදියක් COVID-19 වෛරසයට ධනාත්මක බව වාර්තා වේ. Royal North Shore රෝහලේ වාට්ටු හතරකට එය බලපා ඇතැයි නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය අංශය වාර්තා කොට සිටී.
කොරෝනා එන්නත ලබා නොගත් වයස 24 ක ශිෂ්‍ය හෙදියක් හේතුවෙන් Royal North Shore රෝහල මෙලෙස කොරෝනා වෛරසයට නිරාවරණය වී තිබේ. ඇය R-N-S සහ Fairfield යන රෝහල් වලද සේවය කොට ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් සියයකට අධික රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් මේ වන විට ස්වයන් නිරෝධයනට ලක්කොට තිබේ.
ශ්‍රී ලංකාවේ අද වන විට කොවිඩ් තත්වය
ගතවුණු පැය 24 තුලදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1786 ක් බව සෞඛ්‍ය අංශ වාර්තා වෙනවා දෙයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,59,011 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම ඊයේ දිනයේදී කොවිඩ් මරණ 47ක් වාර්තා වේ. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3077 කි.
එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිසා මැරුණු සතුන් ගණන හෙළිවෙයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු සහ තල් මසුන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි හෙළිවෙයි. සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් මෙම නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා විසින් ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ දිනයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම පරිසර හානිය පිලිබඳව උසාවිය හමුවේ වාර්තා වී තිබේ.
චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට අදට වසර සියයක් සපිරෙයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවැනි සංවත්සරය අදට දී තිබේ. 1921 ජූලි 1 දා ආරම්භ කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂය 1949 දී මාඕ සේතුං ගේ නායකත්වය යටතේ චීනයේ පාලන බලය අත්පත් කරගැනීමට සමත් විය.මෙම සංවත්සරය ඇති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු සුදානම් කොට තිබිණ. ප්‍රධාන උත්සවය චීනයේ බිජිං නුවර චීන අගමැති ෂී ජිං පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
මියන්මාර හමුදා පාලනය නම්‍යශීලි වෙයි.
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව උද්ඝෝෂණය කිරීම හේතුවෙන් හමුදා අත්අඩංගුවේ විසූ පුද්ගලයින් 2,000 ක් මුදා හැරීමට මියන්මාර හමුදා ජුන්ටාව කටයුතු කොට ඇත.මෙය දැනට හමුදා ජුන්ටාවට එල්ලවන අවධානය වෙනත් අතකට හැරවීමට ගත් උපක්‍රමයක් බවට විචාරකයෝ චෝදනා කරති.
පෙබරවාරි 1 දා කුමන්ත්‍රණයක් මඟින් පාලන බලය පැහැරගත් හමුදා ජුන්ටාව විසින් මේ වන විට විරුද්ධවාදීන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අතර සාවද්‍ය ප්‍රකාශ සහ ජනතාව බිය ගැන්වීම යන චෝදනා යටතේ ඇතැමුන්ට වසර 3ක් දක්වා වූ සිරදඬුවම් නියමකොට තිබේ.
ශ්‍රී ලංකා පිහිනුම් ශුරයින් දෙදෙනෙක් ඔලිම්පික් සඳහා තේරෙයි
ශ්‍රී ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ හට මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහාභාගි වීම සදහා අවස්ථාව හිමිව තිබේ. ඒ, මීටර් 100 නිදහස් ආර ඉසව්ව සදහායී. ඔහු වසර 2016 බ්‍රසීලයේ පැවති රියෝ ඔලිම්පික් උළෙළේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කල අයෙකි.
තවද ශ්‍රී ලාංකික පිහිණුම් ක්‍රීඩිකාවක් වන ඇනිකා ගෆූර්ටද ඔලිම්පික් වරම් හිමිව තිබෙනවා. මීටර් 100 කාන්තා සමනල ආර ඉසව්ව වෙනුවෙන් ඇය මෙම සුදුසුකම ලබා තිබේ.
මේ අතර කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වෙන් සහ නිලානි රත්නායක මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහාභාගි වීම සදහා සුදුසුකම් ලබා ඇති බව මිට පෙර නිවේදනය කොට තිබිණ.
කොවිඩ් ආරක්ෂණ නීති කැඩූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට දඬුවම් සැලසුම් කරයි
එංගලන්තයේදී ජෛව ආරක්ෂීත බුබුල බිද දැමීමේ චෝදනාව මත තාවකාලික තරග තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක හට වසරක තරග තහනමක් පැන වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වන බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන එක් දින තරගය ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වීමට නියමිතයි. තරඟය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (ජූලි 1 දා) රාත්‍රී 10 ට ආරම්භ වේ.