80 දශකයේ සිට මෙල්බර්න් හි සිංහල ප්‍රජාවේ අභිවෘදිය උදෙසා අතිමහත් සේවාවක් ඉටුකල වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මියගේ අභාවය වෙනුවෙන් SBS සිංහල සේවය ඇය වෙනුවෙන් තබනා සමරු සටහන

Dr Olga Mendis_ A leading social activist in the Sri Lankan community in Victoria

Dr Olga Mendis_ A leading social activist in the Sri Lankan community in Victoria Source: SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට නන් අයුරින් අමිල මෙහෙයක් ඉටුකළ මෙල්බර්න් ශ්‍රී ලාංකීය ප්‍රජාවේ ප්‍රමුඛ ප්‍රජා නායිකාවක් ව සිටි වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මිය පසුගිය නොවැම්බර් මස 23 දා අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 93 කි.


විශේෂයෙන් 80 දශකය වැනි ඉතා සීමිත ශ්‍රී ලාංකික පිරිසක් මෙල්බර්න් ආශ්‍රිත ප්‍රදේශ වල සිටිනා සමයේදී ඔවුන් ඒකරාශී කරගනිමින් විවිද ප්‍රජා කටයුතු වලට මුලපිරීම සහ ප්‍රජා සංවිධාන බිහි කරලීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මිය ප්‍රමුඛ ක්‍රියාකාරිනියකි.

ඇයගේ ප්‍රජා සේවාව ඇගයීමට බඳුන් කරමින් වරෙක ඇය ඕස්ට්‍රේලියානු දිනයයේදී ඕස්ට්‍රේලියානු රජය විසින් පිරිනමන සම්මාන අතරින් එක් සම්මානයක් වන Order of Australia සම්මානයටද පාත්‍ වූවාය.

එසේම Sri Lanka Club ලෙසින් ආරම්භව පසුව Sri Lanka Society of Victoria බවට පත්වුනු ශ්‍රී ලාංකීය සංගමයේ සමාරම්භකයා ද වනුයේ ඇයයි. එමඟින්, එවක ඕස්ට්‍රේලියා දිනයේදී මෙල්බර්න් නගර මාධ්‍යයෙන් ගමන් ගන්නා Australian Day Parade සඳහා සිංහල ප්‍රජාවේ අනන්‍යතාව සනිටුහන් කරලීමින් පිරිස් සහභාගී කරලීම සිදුවූයේද ඇගේ මූලිකත්වයෙන් Sri Lanka Society of Victoria සංවිධානය මඟිනි.


එසේම වික්ටෝරියා ප්‍රාන්තයේ Victorian School Of Languages ආයතනය සමඟ එක්ව සංක්‍රමණික ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දරුවන් වෙනුවෙන් මෙල්බර්න් හි සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයක් ආරම්භ කරලීමට මුල්වූයේද ඔල්ගා මෙන්ඩිස් මහත්මියයි.


මෙල්බර්න් හි ආරම්භ වුනු ප්‍රථම සිංහල සංවිධානය සහ තවමත් ක්‍රියාත්මක වන 'සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනම' බිහිකරලිමේදී ඇය මුලිකත්වය ගෙන කටයුතු කල අතර එහි දෙවන වරට පත්වුනු සභාපතිනිය ලෙසට කටයුතු කරමින් එවක සිංහල ප්‍රජාවට මහත් සේවාවක් ඉටුකලාය. එසේම

ඔල්ගා මෙන්ඩිස් මහත්මිය වික්ටෝරියා ප්‍රාන්තයේ බිහිවුනු Ethnic Public Broadcasting Association Of Victoria නම්වන ප්‍රජා මණ්ඩලයේ ආරම්භක සාමාජිකාවකි. ඇය එහි ලේඛම් තනතුර දරමින් වසර 20 ක පමණ දීර්ඝ කාලයක් එම මණ්ඩලයට සම්බන්දව කටයුතු කලාය.

මෙම Ethnic Public Broadcasting Association Of Victoria නම්වන ප්‍රජා මණ්ඩලයේ ' මූලිකත්වය ඇතුව ආරම්භ වුනු 3ZZZ ප්‍රජා ගුවන් විදුලියේ විකාශනය වුනු බහු භාෂා වැඩසටහන් අතරට සිංහලෙන් විකාශනය වන වැඩසටහනක් ඇතුලත් කරලීමට මුලිකත්වය ගෙන කටයුතු කලේද වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මිය වේ. ඒ අනුව 3ZZZ ප්‍රජා ගුවන්විදුලියේ පළමු සිංහල වැඩසටහන 1989 වසරේ ජූනි 18 දා ගුවනට මුසුවීය.

එවක මෙල්බර්න් හි රිච්මන්ඩ් ප්‍රදේශයේ සුදු ජාතිකයින්ගේ මූලිකත්වයෙන් ඇරඹී ඔවුනට පමණක් සිමාවී තිබුනු බෞද්ධ පංසල ට සම්බන්ද වී ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් දහම් පාසලක් ආරම්භ කිරීමට වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මිය අතින් සිදුවුනු තවත් අගනා මහෙවරකි. එම දහම්පාසල මෙල්බර්න් හි ආරම්භ වුනු පළමු දහම් පාසැල වේ.

කතෝලික ආගම් භක්තිකයෙකු වුනු ඇයගේ මුලිකත්වයෙන් මෙල්බර්න් හි පළමු බෞද්ධ දහම්පාසල ආරම්භ වීමද විශේෂත්වයක් බවද මෙහිදී සඳහන් කල යුතුය.

පසුව රිච්මන්ඩ් ප්‍රදේශයේ පිහිටි එම පන්සල මොල්වන් ප්‍රදේශයට රැගෙන යාමත් සමඟ එය දැන් බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ මොල්වන් බෞද්ධ විහාරස්ථානය ලෙසටයි. එය සුදු ජාතිකයින්ට පමණක් නොව ශ්‍රී ලාංකීය බෞද්ධ පිරිස් වලටද වන්දනාමාන කිරීමට හැකි විහාරස්ථානයක් බවට පත් කරලීමට වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මිය සහ ඇයගේ සැමියා වන මර්වින් මෙන්ඩිස් මහතා ප්‍රමුඛව කටයුතු කලහ.

එසේම ඇය ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති වකවානුවේදී මෙල්බර්න් හි ශ්‍රී ලංකික පිරිස් ඒකරාශී කොට ගෙන ශ්‍රී ලාංකීය අහාර පොළ, Dinner Dance ඇතුළු විවිද උත්සව සංවිධානය කොට එමඟින් ලැබෙන ප්‍රතිපාදන යුද්ධයෙන් තුවාල ලත් හමුදා සෙබළුනට අවශ්‍ය විවිද උපකරණ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙත යැවීමට ද දැඩිව කැපවුණු සමාජ ක්‍රියාකාරිනියකි.


ඔල්ගා මෙන්ඩිස් මහත්මිය Sri Lankan immigrants in Australia සහ History of Sri Lanka යන මැයින් ග්‍රන්ථ දෙකක්ද රචනා කලාය. ඇය සැබවින්ම 80 සහ 90 යන දශක වල අද මෙන් සංක්‍රමණික ප්‍රජා වලට තම භාෂාව, සංකෘතිය ඉදිරි පරම්පරාවනට ගෙන යාමට පහසුකම් නොතිබුණු අවදියේදී මෙල්බර්න් හි සිංහල ප්‍රජාවට එම අවස්ථා ලබා ගැනීම උදෙසා කැපවීමෙන් කටයුතු කල ප්‍රජා නායිකාවකි.


!!..වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මිය ගේ අභාවය වෙනුවෙන් SBS සිංහල සේවය සාතිශය කණගාටුව පලකොට සිටිමු....!!

*****************************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,


සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
*****************************************************************************************

 


 


Share
Published 25 November 2020 2:48pm
Updated 25 November 2020 3:44pm
By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends