"කැස්සේ හඬින්" ශ්වසන රෝග සහ කෝවිඩ් හඳුනන ලොව පළමු App එක නිපැයූ ලාංකිකයා, මහාචාර්ය උදන්ත : SBS සිංහල විශේෂාංග

පුද්ගලයකුගේ "කැස්සේ ශබ්දය" මත පදනම්ව COVID-19 සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන App එකක් පර්යේෂණ කටයුතු ඔස්සේ සොයාගැනීමට ඕස්ට්‍රේලියාවේ University of Queensland හි ශ්‍රී ලංකික මහාචාර්ය උදන්ත අබේරත්න සමත් විය.මෙය සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ, ලොව සුපතල සමාගම් වල අවධානයටත් යොමුවිය. ඒ පිළිබඳව ඔහු SBS සිංහල සේවය සමග සිදු කල සාකච්චාවක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

2 Dr Udantha 01.jpg

Dr Udantha R. Abeyratne - Honorary Associate Professor UQ Credit: Supplied by Dr Udantha R. Abeyratne / UQ / SBS

Key Points
  • මහාචාර්ය උදන්ත අබේරත්න පිලිබඳ තොරතුරැ
  • පර්යේෂණ දිවිය ආරම්භයේදී දැක්වූ කුසලතා සහ ජයග්‍රහණ
  • මෑතකාලිනව සිදු කල විවිධ පර්යේෂණ සහ සොයාගැනීම්
  • පුද්ගලයකුගේ "කැස්සේ ශබ්දය" මත පදනම්ව COVID-19 සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන App එක සොයාගැනීමේ පර්යේෂණ සඳහා පෙළඹීම
  • කොවිඩ් ඇතුළු ශ්වසන රෝග පවතින බවට "කැස්සේ ශබ්දය" මගින් තීරණය කිරීමේ තාක්ෂණික න්‍යාය
  • පර්යේෂණ සිදු කිරීමේදී සහය දුන් පිරිස
  • මේ දක්වා පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වූ අභියෝග
  • වෛද්‍ය විද්‍යාව සහ නව තාක්ෂණය ඒකාබද්ධ කරමින් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන පර්යේෂණ
  • මෙවැනි වූ වැදගත් සහ සුවිශේෂී සොයාගැනීමක් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තිබෙන පෞද්ගලික හැඟීම
SBS සිංහල සේවයෙන් නිරතුරුව ඔබට ඕස්ට්‍රේලියාවේ සිටින සහ ඔස්ට්‍රේලියාව හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිදු කරන විවිධ පර්යේෂණ කටයුතු, ඔවුන් සිදු කරන විවිධ ජයග්‍රහණ පිලිබඳ තොරතුරු ගෙන ඒම සිදු කරයි

අප අතරින් තවමත් තුරන්ව නොමැති සහ සෑම දෙනෙකුම පාහේ පීඩාවට ලක්කොට තිබෙන කොවිඩ් වෛරසය හා සම්බන්ධ නව සොයාගැනීමක් සිදු කිරීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු සමත්වන්නේ මීට මාස කිහිපයකට පෙර.

යම් පුද්ගලයකුගේ "කැස්සේ ශබ්දය" මත පදනම්ව COVID-19 සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන App එකක් සොයාගැනීම, මෙම නව සොයාගැනීම වන අතර මේ සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා මුලිකත්වය ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ University of Queensland හි ශ්‍රී ලංකික මහාචාර්යවරයෙක්.

ඔහු නමින් මහාචාර්ය උදන්ත අබේරත්න

මොහුගේ මෙම නව සොයාගැනීම ලොව ප්‍රමුඛ පෙලේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් වල පවා අවධානය දිනාගැනීමට හේතු වී තිබේ.

මහාචාර්ය උදන්ත අබේරත්න පිලිබඳ තොරතුරැ


මහාචාර්ය උදන්ත අබේරත්න මාතලේ උපත ලබා ඇති අතර, ඔහු මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ විජය විද්‍යාලයේ සිය අධ්‍යාපනය හදාරා තිබේ.

සිය පවුලේ තොරතුරු පිළිබඳව සඳහන් කරමින් මහාචාර්ය උදන්ත අපත් සමග පැවසුවේ මව පියා සමග තමාට තවත් සහෝදරයකු සිටින බවයි. ඔහු මේ වනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු තාක්ෂනය සම්බන්ධයෙන් මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටී.

පාසල් වියේදී පටන් ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයන් සඳහා තමාට දැඩි ආශාවක් තිබු අතර ඉන් අනතුරුව ඉංජිනේරු විද්‍යාව ඉගෙනීම සඳහා විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ බව මහාචාර්ය උදන්ත පැවසීය.

මෙහිදී "විදුලි ඉංජිනේරු අංශය" ඔහු තෝරාගෙන තිබේ.

අනතුරුව ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට සහ ඇමරිකාවට ගොස් තිබේ. මෙහිදී සිය පශ්චාත් උපාදිය සඳහා මහාචාර්ය උදන්ත Biomedical Engineering යන ක්ෂේස්ත්‍රය තෝරාගෙන තිබේ.

අනතුරුව ඔහු සිංගප්පුරුවේ කෙටි කාලයක් සේවය කොට University of Queensland හි සේවය කිරීමට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

පර්යේෂණ දිවිය ආරම්භයේදී දැක්වූ කුසලතා සහ ජයග්‍රහණ


මෙහිදී සිය අදහස් අපත් සමග හුවමාරු කරමින් මහාචාර්ය උදන්ත SBS සිංහල සේවයට සඳහන් කොට සිටියේ, ජපානයේදී තම පළමු පර්යේෂණ කෘතිය එළිදැක්වූ අතර එය ජාත්‍යන්තර සමලුවකදී සිදු කල බවයි. ඒ සඳහා ඔහුට "හොඳම විද්‍යාත්මක කෘතිය සඳහා හිමි සම්මානය" හිමිව තිබේ.
2 Dr Udantha 03.jpg
Dr Udantha R. Abeyratne - Honorary Associate Professor UQ Credit: Supplied by Dr Udantha R. Abeyratne / UQ / SBS

එම අවස්ථාව තමාට ඉතාමත් සතුටුදායක අවස්ථාවක් වූ බව සඳහන් කල මහාචාර්ය උදන්ත කියා සිටියේ, ඉන් අනතුරුව පැවති සමුළු රැසකදී තමාට හොඳම විද්‍යාත්මක කෘතිය සඳහා හිමි සම්මාන රැසක් හිමි වූ බවයි.

තමාට සෑම දෙයක් සම්බන්ධයෙන්ම විවිධ ආකාරයෙන් පර්යේෂණ සිදු කිරීමට දැඩි කුතුහලයක් තිබි බවත් ඔහු පැවසීය.

මේ සඳහා තමාට ශ්‍රී ලංකාවේ ලැබූ විශ්ව විද්‍යාල අධ්‍යාපනය මනා පිටිවහලක් වූ බවත් ඔහු කියා සිටී.

එවකට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුල තිබි සීමිත අධ්‍යාපනික පහසුකම් හේතුවෙන්, සෑම දෙයක් පිළිබඳවම පාහේ පර්යේෂණ කටයුතු සිදු කිරීමට ගුරුවරුන් කටයුතු කල බවත්, ඒ ඔස්සේ පර්යේෂණ සඳහා වූ පුහුණුව නිරායාසයෙන්ම ඇති වූ බවත් මහාචාර්ය උදන්ත SBS සිංහල සේවයට පැවසීය.

මෑතකාලිනව සිදු කල විවිධ පර්යේෂණ සහ සොයාගැනීම්


මහාචාර්ය උදන්ත Masters හෙවත් "ශාස්ත්‍රපති" උපාධිය සිදු කිරීමේදී කෘතීම බුද්ධිය (AI) සම්බන්ධයෙන් සහ ස්නායු සම්බන්ධයෙන් ඉගෙනීම් කටයුතු සිදු කොට ඇති අතර පශ්චාත් උපාධිය සඳහා Biomedical Engineering සිදු කොට තිබේ.

මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් මහාචාර්ය උදන්ත සඳහන් කොට සිටියේ, තමන් රැකියාව සිදු කිරීමේදී Sleep apnea යන රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට පෙළඹුණු බවයි.

මෙහිදී මහාචාර්ය උදන්ත Sleep apnea රෝගයෙන් පෙලෙන පුද්ගලයකුගේ හුස්ම ගැනීමේ ශබ්දය මත පදනම්ව රෝගය හඳුනාගැනීම සඳහා පර්යේෂණ සිදු කොට තිබේ.


කෙසේ නමුත් Sleep apnea රෝගය තිබෙන පුද්ගලයකුගේ නින්දෙන් ගෙරවීමේ ශබ්දය මත පදනම්ව නිසි වෛද්‍ය නිගමනයකට එළඹීමට අපහසු බව එවකට වූ වෛද්‍ය මතය වුවත්, එය වෙනස් කිරීමට තම නව පර්යේෂණ සමත් වූ බවට මහාචාර්ය උදන්ත අපත් සමග පැවසුවේ සිනා මුසු මුහුණකින්.

2009 වසරේදී පුද්ගලයින්ගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග විනිශ්චය සඳහා පර්යේෂණ සිදු කල අතර පුද්ගලයකුගේ කැස්සේ ශබ්දය මත පදනම්ව ශ්වසන රෝග සොයාගැනීම සඳහා වූ පර්යේෂණ සාර්ථක වූ බව මහාචාර්ය උදන්ත අපත් සමග පැවසීය.

මේ වනවිටත් වෛද්‍ය විද්‍යාත්මකව සොයාගැනීමට අපහසු ඇතැම් ලෙඩ රෝග සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කෙරෙන අතර ඒවායින් යහපත් ප්‍රතිපල ලැබී පර්යේෂණ රැසක් තිබු බවත් මහාචාර්ය උදන්ත සඳහන් කොට සිටී.

පුද්ගලයකුගේ "කැස්සේ ශබ්දය" මත පදනම්ව COVID-19 සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන App එක සොයාගැනීමේ පර්යේෂණ සඳහා පෙළඹීම


Bill & Melinda Gates Foundation යන පදනම ඔස්සේ, ලොව ළමුන් වැඩි සංක්‍යාවක් මිය යාම සඳහා වන රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීම සිදු කල අතර ඒ ඔස්සේ මෙම නව සොයාගැනීම සඳහා තමා පෙළඹුණ බව මහාචාර්ය උදන්ත සඳහන් කොට සිටී.
2 Dr Udantha 04.jpg
Dr Udantha R. Abeyratne - Honorary Associate Professor UQ Credit: Supplied by Dr Udantha R. Abeyratne / UQ / SBS

මෙම පදනම් මගින් "නිව්මෝනියා" රෝගයෙන් පෙලෙන පිරිස සඳහා ප්‍රතිකාර කිරීමට නව ක්‍රම සොයාගැනීමට හැකියාවක් තිබෙන පිරිස සඳහා අයදුම් කිරීමට කටයුතු යොදා තිබී ඇත.

මහාචාර්ය උදන්ත පැවසුවේ ඒ සඳහා තම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පර්යේෂණ කටයුතු වලට තම විශ්ව විද්‍යාලයට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදල් ප්‍රධානයක් හිමි වූ බවයි.

බාධක රැසක් මධ්‍යයේ පර්යේෂණ සිදු කිරීමෙන් අනතුරුව ඒවා සාර්ථක වූ බවත් ඒ ඔස්සේ කොටස් වෙළෙඳපොළ හා සම්බන්ධ සමාගමක් පිහිටවූ බවත් මහාචාර්ය උදන්ත පැවසීය.

කොවිඩ් ඇතුලු ශ්වසන රෝග පවතින බවට කැස්සේ ශබ්දය මගින් තීරණය කිරීමේ තාක්ෂණික න්‍යාය කුමක්ද?

මේ සම්බන්ධයෙන් මහාචාර්ය උදන්ත SBS සිංහල සේවයත් සමග පැවසුවේ මෙය තරමක් සංකීර්ණ වන බවයි.

උදාහරණයක් ගෙනහැර දක්වමින් මහාචාර්ය උදන්ත මේ සම්බන්ධයෙන් පැහැදිලි කොට සිටියේ, නිව්මෝනියාව වැළඳුනු රෝගියකුගේ පෙනහළු තුල ජලය පිරීම සිදුවන අතර එවැනි රෝගියකු කැස්ස විට, එම කැස්සේ ශබ්දය තුල දත්ත සහ තොරතුරු රැසක් අඩංගු වන බවයි.

මෙම කැස්ස තුල සාමාන්‍ය පුද්ගලයකුගේ කැස්සට සාපේක්ෂව සංක්‍යාත්මක වශයෙන් වෙනස්කම්ද අඩංගු වේ.

කෙසේ නමුත් නිව්මෝනියා රෝගීන්ගෙන් ලබා ගන්නා මෙම දත්ත පසුව කෘතීම බුද්ධිය යොදාගනිමින් විශ්ලේෂණය කිරීම සිදු කරයි.එමෙන්ම අනතුරුව එම දත්ත පරිඝනක ඔස්සේ program කිරීම සිදුකරන බවත් පසුව App එක වෙත එම දත්ත යොමු කරන බවත් මහාචාර්ය උදන්ත පැවසීය.

මෙම පර්යේෂණ සඳහා සායනික වෛද්‍යවරුන්ගේ ඉහල සහායක් ලැබුණු බවත් ඔවුන්ගේ සහාය නොමැතිනම් මෙවැනි පර්යේෂණ සාර්ථකව සිදු කිරීමට හැකි නොවන බවත් මහාචාර්ය උදන්ත සඳහන් කොට සිටී.

මෙම App එක ප්‍රධාන වශයෙන්ම නිව්මෝනියා රෝගය සම්බන්ධයෙන් සොයාගැනීම සිදු කොට ඇති අතර එය පසුකාලිනව ඇදුම ඇතුළු ශ්වසන රෝග රැසක් විනිශ්චය කිරීම සඳහා පුළුල් කොට තිබේ.

පර්යේෂණ සිදු කිරීමේදී සහාය දුන් පිරිස


මෙම පර්යේෂණ සඳහා ඕස්ට්‍රේලියාවේ, ඉන්දුනීසියාවේ මෙන්ම ඇමරිකාවේ සායනික වෛද්‍ය කණ්ඩායම් වල සහාය ප්‍රධාන වශයෙන් හිමිව තිබේ.

එමෙන්ම University of Queensland හි ඒ වනවිට මහාචාර්ය උදන්ත යටතේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන්ගේ සහායද මේ සඳහා ලැබී තිබේ.

University of Queensland හි පර්යේෂණ වාණිජකරණය සිදු කල කණ්ඩායම්ද මේ සඳහා මනා සහායක් ලබාදී තිබේ.

මෙම පර්යේෂණ ඔස්සේ University of Queensland හි මුලිකත්වයෙන් පිහිටවූ ResApp Health සමාගම තුල කටයුතු කල සියලුම පර්යේෂක කණ්ඩායම් සහ University of Queensland හි විශාල පිරිසක් තමාට මේ සඳහා දැඩි සහායක් ලබා දුන් බවත් මහාචාර්ය උදන්ත SBS සිංහල සේවයට සඳහන් කොට සිටියේ සතුටකින්.

මේ දක්වා පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වුන අභියෝග


මෙහිදී පර්යේෂණ ක්සේස්ත්‍රය තුලින්ම අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බව මහාචාර්ය උදන්ත පවසයි.

මෙම පර්යේෂණ සම්ප්‍රදායික පරීක්ෂණ කටයුතු වලින් බැහැරව සිදු කිරීමට අවශ්‍ය වීම හේතුවෙන්, ඒවායෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත බවක් පැවති බව ඔහු පෙන්වා දෙයි.


ඇතැම් අවස්ථා වලදී මෙවැනි රෝග විනිශ්චය කිරීම මෙන්ම තාක්ෂණික පසුබිම සම්බන්ධයෙන් දැනුවත් ප්‍රධාන පෙලේ පිරිස පවා මෙම පර්යේෂණ කටයුතු මගින් නිසි ප්‍රතිපල නොලැබනු ඇති බවට පැවසූ බවත් මහාචාර්ය උදන්ත කියා සිටී.

කෙසේ නමුත් මෙම පර්යේෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබූ පිරිසත් ඒ අතර සිටීම හේතුවෙන්, අවසානයේ මෙම පර්යේෂණ කටයුතු සඳහා ලොව ප්‍රධාන පෙලේ කණ්ඩායම් පවා සහාය ලබාදුන් බවත් ඔහු පැවසීය.

එමෙන්ම තම මුහුණ දුන් තවත් අභියෝගයක් වශයෙන් මහාචාර්ය උදන්ත සඳහන් කොට සිටියේ, මෙම පර්යේෂණ ඔස්සේ සොයාගත් මෙම නව App එකෙහි මුලික පියවරෙන් අනතුරුව එය විවුර්ත ලෝකයට සහ වෛද්‍ය කටයුතු සඳහා ඉදිරියට ගෙන යාමේ කටයුතු සම්බන්ධයෙන් දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බවයි.

එමෙන්ම මෙවැනි පර්යේෂණ කටයුතු සිදු කිරීමේදී විවිධ සෞඛ්‍ය, තාක්ෂණික මෙන්ම ගණිත යන ක්ෂේස්ත්‍ර වල පිරිස සමග සාකච්චා කිරීමට සිදු වූ බවත් එවැනි අවස්ථා වලදී එම ක්ෂේස්ත්‍ර සම්බන්ධයෙන් වන දැනුම යම් ආකාරයක අභියෝගයක් වූ බවත් මහාචාර්ය උදන්ත පෙන්වා දෙයි.


මෙවැනි දැඩි වගකීමක් සහිත සහ භාරධුර කාර්යයන් අවසානයේ විවිධ මාධ්‍ය සිදු කරන සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය උදන්ත සඳහන් කොට සිටියේ තරමක් කනස්සල්ලකින්.

ඔහු කියා සිටියේ මෙම App එක නිර්මාණය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් සත්‍ය තොරතුරු වෙනස් කරමින් ප්‍රචාරයක් සිදු කල අතර, සිංගප්රුපූරුව තුලද සාවද්‍ය තොරතුරු අඩංගු කරමින් ලිපි ප්‍රචාරය කොට තිබු බවයි.

එය තමාට සෘජු ලෙස අහිතකර බලපෑමක් එල්ල කල බවත් ඔහු පැවසීය.


තමාගේ මුලිකත්වයෙන් නිර්මාණය කල මෙම App එක, ලොව සුපතල සමාගමක් වන Pfizer සමාගම මිලදී ගැනීම සිදු වූ අතර, එම අවස්ථාවේදී තමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු රැසක් සංසරණය වීම දැකීම ඉතා කණගාටුදායක තත්වයක් වූ බවත් ඔහු පැවසීය.


මෙම App එක මිලදී ගැනීමේදී Pfizer සමාගමෙන් විශාල මුදලක් තමාට හිමිවූ බවට හැඟවෙන තොරතුරු එම ලිපි වල සඳහන් වූ නමුත්, Pfizer සමාගම මිලදී ගත් ResApp Health සමාගම, Stock market හෙවත් කොටස් වෙළඳපොලෙහි ලියාපදිංචි කොට ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මෙම සමාගමෙහි තනි අයිතියක් තමාට කිසිසේත් නොමැති අතර, එහි අයිතිය කොටස් හිමිකරුවන් සතුව පවතින බවත් ඔහු මෙහිදී අවධාරණය කොට සිටියේය.

කෙසේ නමුත් ඔහු දැඩි ස්ථාවරයකින් අපත් සමග පැවසුවේ, මෙවැනි විවිධ අභියෝග පැමිණියත් එම අභියෝග සඳහා නිසි ලෙස මුහුණ නුදුනහොත් ඉදිරියට යාමට අපහසු වන බවයි.


වෛද්‍ය විද්‍යාව සහ නව තාක්ෂනය ඒකාබද්ධ කරමින් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන පර්යේෂණ


වෛද්‍ය ඉංජිනේරු විද්‍යා ක්සේස්ත්‍රය තුල පර්යේෂණ කටයුතු ඉදිරියට රැගෙන යාමට තමාට අවශ්‍ය වන බව අප නැගු පැනයට පිලිතුරු දෙමින් මහාචාර්ය උදන්ත අපත් සමග පැවසීය.

මෙහිදී Sleep apnea රෝගය සහ ශ්වසන රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු ඉදිරියට සිදු කිරීමට අදහස් කරන බව ඔහු කියා සිටී.

ඔහු මීට අමතරව, තාක්ෂණය උපයෝගී කරගනිමින් "අක්ෂි රෝග" සොයා ගැනීම සම්බන්ධයෙන් වන පර්යේෂණ සඳහාත් අවධානය යොමු කොට තිබේ.
2 Dr Udantha 02.jpg
Dr Udantha R. Abeyratne - Honorary Associate Professor UQ Credit: Supplied by Dr Udantha R. Abeyratne / UQ / SBS

එමෙන්ම කෘෂිකර්මය සම්බන්ධයෙනුත් විවිධ පර්යේෂණ ආරම්භ කිරීම සඳහා නව අදහස් රැසක් තිබෙන බවත් මහාචාර්ය උදන්ත පැවසීය.

මෙවැනි වූ වැදගත් සහ සුවිශේෂී සොයාගැනීමක් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තිබෙන පෞද්ගලික හැඟීම


මේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය නැගු පැනයට මහාචාර්ය උදන්ත එකහෙලා කියා සිටියේ, ලෝකයට විනාශයක් සිදු නොකොට ලෝකයට යහපතක් සිදු කිරීමට හැකිවීම සමබන්ධයෙන් තමා ඉතා සතුටටත් ආඩම්බරයටත් පත් වන බවයි.

ලොව තුල විශාල පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව "ඇදුම" රෝගයෙන් පෙලීම සිදු වන අතර, එවැනි පිරිසට නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා මෙම සොයාගැනීම ඔස්සේ පදනමක් දැමීමට තමාට හැකිවීම ජයග්‍රහණයක් වන බවත් ඔහු පවසයි.

අවසන් වශයෙන් මහාචාර්ය උදන්ත සඳහන් කොට සිටියේ තමාට මේ සියලු කටයුතු සාර්ථක කරගනිමින් මේ දක්වා පැමිනි ගමනේදී පුද්ගලයින් රැසකගේ සහාය හිමිවූ අතර, කුඩා කල සිට වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම දක්වා ගුරුහරුකම් කල ගුරුවරුන් ඇතුලු සියලු දෙනාටම තම ස්තුතිය පලකරන බවයි...

——————————————————————————————————————————

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන්  තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

——————————————————————————————————————————

ඩිජිටල් සහ සමාජමාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:


SBS සිංහල වෙබ්අඩවිය: 


SBS සිංහල Facebook පිටුව: 


SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

——————————————————————————————————————————

Share
Published 11 May 2023 7:09pm
Updated 12 May 2023 11:08am
By Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends