ඔස්ට්‍රේලියාවේ Prescription ඖෂධවලට ඉතා අඩු මුදලක් ගෙවීමේ නව ක්‍රමයක්, සියලු විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

මාස දෙකක subsidised medicines හෙවත් සහනාධාර හිමි ඖෂධ වර්ග වෙන වෙනම ඖෂධ වට්ටෝරු (prescription) දෙකකින් මිලදී ගැනීම වෙනුවට එක් ඖෂධ වට්ටෝරුවකින් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

Container of medication

People could save up to $180 a year if their medicine can be prescribed for 60 days rather than 30. Source: AAP / MOODBOARD/MOODBOARD

නිදන්ගත රෝග තත්වයන් ඇති මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී වඩා ලාභදායී මිලකට ඖෂධ ලබා ගැනීමට හැකි වනු ඇත.

ලබන මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන නව පියවරක් යටතේ මෙම සහනය හිමිවනු ඇත.


ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී වඩා ලාභදායී මිලකට ඖෂධ

මාස දෙකක subsidised medicines හෙවත් සහනාධාර හිමි ඖෂධ වර්ග වෙන වෙනම ඖෂධ වට්ටෝරු (prescription) දෙකකින් මිලදී ගැනීම වෙනුවට එක් ඖෂධ වට්ටෝරුවකින් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

මේ නිසා ඔස්ට්‍රේලියානුවන් මිලියන හයක් පමණ ඔවුන්ගේ ඖෂධ සඳහා අඩු මුදලක් ගෙවනු ඇති අතර වෛද්‍යවරයා සහ ඔසුසැල වෙත එහා මෙහා ගමන් කිරීමට අඩු කාලයක් ගත කරනු ඇත.

සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම වෙනස මගින් රෝගීන්ට අවශ්‍ය පොදු ඖෂධ ලබා ගැනීම සඳහා වෛද්‍යවරයා වෙත පැමිණීමට අවශ්‍ය වාර ප්‍රමාණය අඩු කරයි.

එළඹෙන මැයි 9 වන දින මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers විසින් ඉදිරිපත් කිරීමට නියමිත 2023-24 ඔස්ට්‍රේලියානු අයවැයෙන් මෙහි මුල්‍ය බලපෑම අනාවරණය කෙරෙනු ඇත.

මෙම ප්‍රතිපත්තිය යටතේ සාමාන්‍ය ඖෂධ සිය ගණනකට ප්‍රවේශ වීම ලාභදායී වනු ඇති අතර එය බොහෝ දුරට ඖෂධ සඳහා විශාල මුදලක් වැය කරන නිදන්ගත රෝග ඇති අය ඉලක්ක කර ගෙන ඇත.
Jim Chalmers standing at a podium
The fiscal impact of making hundreds of medicines cheaper for millions of Australians will be revealed in the budget to be handed down by Treasurer Jim Chalmers on 9 May. Source: AAP / Jono Searle
මෙයට අදාළ වන ලැයිස්තුවේ ඇති ඖෂධ 320 කට වඩා වැඩි ප්‍රමාණයක් හෘද රෝග, කොලෙස්ටරෝල්, Crohn's disease හෙවත් ක්‍රෝන්ගේ රෝගය සහ අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා වේ.

ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ ඖෂධය දින 30කට වඩා දින 60කට නියම කළ හැකි නම් හෝ ඔවුන්ගේ අනෙකුත් ඖෂධ මෙම දීර්ඝ කරන ලද බෙදාහැරීමේ වෙනස සඳහා සුදුසුකම් ලබන්නේ නම්, වසරකට ඩොලර් 180ක් දක්වා ඉතිරි කර ගත හැකිවේ.

වසර 2018 දී නිදන්ගත රෝග සඳහා තෝරාගත් PBS ඖෂධ විශාල ප්‍රමාණවලින් බෙදා හැරීමට ඉඩ දීමේ සායනික ආරක්ෂාව පිළිබඳව විමර්ශනය කළ අවස්ථාවේදී ඖෂධීය ප්‍රතිලාභ උපදේශක කමිටුව ප්‍රථම වරට මෙම අදහස ඉදිරිපත් කළේය.

සාමාන්‍ය ඖෂධ සඳහා නිකුත් කරන එක් එක් මාසයක සැපයුමේ සිට මාස දෙකක සැපයුම දක්වා ඖෂධ වට්ටෝරු නැවත පුරවන ලෙසට අදාළ කමිටුව නිර්දේශ කළේය.

නමුත් මෙම වෙනස සමඟ වුවද, ඔස්ට්‍රේලියාවේ ඖෂධ බෙදා හැරීමේ නීති අනෙකුත් රටවලට සංසන්දනාත්මකව අඩු නම්‍යශීලීත්වයක් පෙන්නුම් කරයි.

නවසීලන්තය නිදන්ගත රෝගී තත්වයන් සඳහා දින 90 ක ඖෂධ සැපයුමක් සහ කැනඩාව දින 100 ක ඖෂධ සැපයුමක් සඳහා ඉඩ ලබා දේ.

මේ නිසා ඔස්ට්‍රේලියාවේ ඖෂධ හිඟයක් ඇතිවේවිද?

කෙසේ වෙතත්, මෙම වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ තවදුරටත් ඖෂධ හිඟයකට තුඩු දිය හැකි බව ඔස්ට්‍රේලියාවේ ඔසුසැල් සංසදයේ සභාපති Trent Twomey පැවසුවේය.

ජනතාවගේ ජීවන වියදම් පීඩනය අඩු කළ යුතු බවට තමා පිළිගන්නා නමුත් මෙම වෙනස්කම් යහපත් සේ පෙනෙන නමුත් සැබෑ හෝ ඵලදායී ප්‍රතිඵලයක් මෙයින් පෙන්නුම් නොකරන බව ඔහු ප්‍රකාශ කළේය.

"ඖෂධ තොගවල අදාළ ඖෂධ නැතිනම් එම ඖෂධ මාස දෙකකට රෝගීන්ට ලබා දෙන්නේ කොහොමද?" යන ප්‍රශ්නය ඔහු ඇසුවේය.

දැනටමත් ඔස්ට්‍රේලියාවේ බරපතල හිඟයක් ඇති හෝ සම්පූර්ණයෙන්ම ලබා ගත නොහැකි ඖෂධ 470 කට වඩා ඇති බවත් PBS ලැයිස්තුවේ ඇති ඖෂධවලින් 40 ක් පමණ ඖෂධ හිඟයක් අත්විඳින බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම ඖෂධ හිඟය පිළිබඳ මූලික කරුණු මධ්‍යම රජය නිවැරදිව වටහා ගත යුතු බවත් සෑම රෝගියෙකුටම අවම වශයෙන් තමාගේ ඖෂධයෙන් එක් පෙට්ටියක්වත් ලබා ගත හැකි බවට පළමුව සහතික කළ යුතු බවත් ඔස්ට්‍රේලියාවේ ඔසුසැල් සංසදයේ සභාපති Trent Twomey පැවසුවේය.
මේ අතර ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය ඖෂධ ප්‍රමාද කිරීම හෝ නොමැතිව යාමේ ප්‍රශ්නයට ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ පියවර මගින් විසඳුම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසුවේය.

මෙම වෙනස මගින් ඖෂධ සඳහා ඉල්ලුම ඉහළ යාමක් හෝ ඖෂධ හිඟයක් ඇති නොකරන බව මධ්‍යම රජය සඳහන් කළේය.

Share
Published 26 April 2023 3:43pm
By Madhura Seneviratne
Source: AAP


Share this with family and friends