Key Points
- ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල රැකියා 87,000ක් සදහා ඇබෑර්තු ඇති බැවින්, ප්‍රධාන නගරවලින් ඉවත් වී එම ප්‍රදේශ වලට යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.
- අළුතෙන් පැමිණෙන සංක්‍රමණිකයන් ප්‍රධාන වෙරළබඩ ප්‍රදේශ වලට ආකර්ශනය කර ගැනීම හේතුවෙන් පදිංචිය සඳහා ප්‍රධාන නගර වලින් ඈත් ව යන සංක්‍රමණිකයන්ගේ පළමු තේරීම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වේ.
- ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වලට ජනතාව සංක්‍රමණය වීමට බලපාන ප්‍රධාන සාධක අතර ඉඩ පහසුව, යහපැවැත්ම, නිවාස මිල දැරිය හැකි වීම සහ රැකියා වල ඇති නම්‍යශීලීභාවය යන සාධක ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල රැකියා 87,000ක් පිරිනැමීමත් සමඟ, නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් වැඩි පිරිසක් ප්‍රධාන නගර වලින් ඈත්වී ප්‍රාදේශීය ප්‍රදේශ කරා සංක්‍රමණය වේ.
ප්‍රාදේශීය ප්‍රදේශ වල වර්ධනය වෙමින් පවතින රැකියා වෙළඳපොළ සහ ආකර්ශනීය නිවාස මිල ගණන් හේතුවෙන් නව පදිංචිකරුවන් ප්‍රධාන නගර වල සිට පැය 4 ක පමණ දුරින් ඇති බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Geraldton සහ නිව් සවුත් වේල්ස්(NSW) ප්‍රාන්තයේ Mudgee වැනි ප්‍රදේශ වල සංක්‍රමණය වේ
ප්‍රාදේශීය ප්‍රදේශ වලට සංක්‍රමණය වන්නන්ගේ දර්ශකයේ (Regional movers index) ජනගහන දත්ත වලට අනුව, Geraldton සහ Mudgee ප්‍රදේශ වලට අමතරව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ York සහ Waroona සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Townsville යන ප්‍රදේශද 2023 වසරේ ජුනි දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර සංක්‍රමණය සඳහා ඉහළම වර්ධනයක් ඇති ස්ථාන පහ අතර වේ.
Commonwealth බැංකුව සහ Regional Australia ආයතනය අතර සහයෝගිතාවයෙන් ඉදිරිපත් කරන මෙම දර්ශකය මගින් Tasmania හි Launceston සහ NSW හි Dubbo වැනි විශාල ප්‍රාදේශීය ප්‍රදේශ වලින් ජනතාව තවත් ග්‍රාමීය ප්‍රදේශ සඳහා පිටත්ව යන බව සොයාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ ජනතාව ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවත් වීමට ඇති කැමැත්ත අවසන් වී නැති බව එම දර්ශකය මගින් පැහැදිලිව පෙන්නුම් කරන අතර මෙම වර්ධනය වන ස්ථානවලට ඉක්මනින් අවශ්‍ය කරන සමාජ හා භෞතික යටිතල පහසුකම් සපයා දීමේ වැදගත්කමද එමගින් ඉස්මතු කරන බව Regional Australia ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Liz Ritchie පැවසීය.
ජනතාව විසින් පදිංචිය ප්‍රධාන වෙරළබඩ ප්‍රදේශ තෝරා ගන්නා බැවින්, අගනගර හැර යන අයගේ වැඩිම ආකර්ෂණය දිනා ගත් ප්‍රාන්තය ක්වීන්ස්ලන්තය ප්‍රාන්තය වේ.
විශාල සේවා යෝජකයන් විසින් රැකියා සඳහා බඳවා ගැනීම් වේගවත් කර ඇති බැවින් ප්‍රාදේශීය ප්‍රදේශ තවදුරටත් වර්ධනය විය හැකි බව Commonwealth බැංකුවේ ප්‍රාදේශීය සහ කෘෂි ව්‍යාපාර ප්‍රධානී Paul Fowler පැවසීය.
————————————————————————————————————-
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP (Free)
————————————————————————————————————-
ප්‍රාදේශීය ප්‍රදේශ වල ආර්ථිකයන්හි වර්ධනය සහ තොග වෙළෙඳාම, නිෂ්පාදන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි අංශවල ඇති රැකියා අවස්ථා මගින් ප්‍රාදේශීය ප්‍රදේශවලට පැමිණීමට ජනතාව පොළඹවනු ඇතැයිද Fowler මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රාදේශීය ප්‍රදේශවලින් නගරවලට ජනගහන ගමන් කිරීමේ වැඩි වීමක් ද සමඟ COVID-19 වසංගතයට පෙර පැවති ප්‍රමාණයට වඩා ඔස්ට්‍රේලියාව පුරා ජනතාව සංචාරය කිරීම බෙහෙවින් ඉහළ මට්ටමක පවතී.
ප්‍රාදේශීය ප්‍රදේශ වලට පදිංචියට යාම සලකා බැලූ නගරවාසීන් 1004 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් නිවාස මිල දැරිය හැකි වීම, වැඩි දියුණු වූ යහපැවැත්ම සහ කාලය ඉතිරි වීම යන ප්‍රධාන කරුණු එම තීරණයට හේතු වූ බව සොයා ගෙන තිබේ.
ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවන රටාව කෙරෙහි ඇති උනන්දුව වැඩි වීමට තවත් හේතුවක් ලෙස කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවත් වන පුද්ගලයින්ට රැකියාවේ නම්‍යශීලී බව වැඩිවීම යන කාරණයද පෙන්වා තිබුණි.
ජීවන වියදම ඉහළ ගියද , බොහෝ දුරට ඉහළ ආදායම් ලබන්නන් වර්තමානයේ තමන් ජීවත් වන නිවසින් පැය තුනකට වඩා වැඩි දුරකට වුව යාම සලකා බලන බව මෙම සමීක්ෂණයෙන් හෙළි විය.
ඔස්ට්‍රේලියාව තුළ ජනගහනය සංචරණය වෙන්නේ මෙහෙමයි.
- 2018 සහ 2019 වසර වලට සාපේක්ෂව ජනතාව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යාම 16%ට වඩා වැඩි ය.
- සියලුම දේශීය සංචලන සලකා බැලූ විට, ප්‍රාදේශීය ප්‍රදේශ වල සිට අගනුවර වෙත ගමන් කරන ගණන ඉන් සියයට 9.6 ක් වන අතර ඊට සාපේක්ෂව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත සංක්‍රමණය වෙන ප්‍රමාණය සියයට 11.1 ක් වේ.
- 2018 වසරේ මාර්තු සිට කාලය සැලකූ විට ඔස්ට්‍රේලියාවේ සමස්ත සංචලනයන් මේ වසරේ එහි සිව්වන ඉහළම මට්ටමේ පවතින අතර තවමත් එය COVID-19 වසංගතයට පෙර පැවති මට්ටමේ පවතී.
ඔස්ට්‍රේලියානුවන් රට තුළ පදිංචිය වෙනස් කරන්න හේතු
- නගරවාසීන් 1004ක් සම්බන්ධ කරගනිමින් Regional Australia ආයතනය සිදු කළ සමීක්ෂණයට අනුව 2020 දී නගරයේ ජීවිතය පිළිබඳ අසතුට 10% ක් වූ අතර එය 2023 දී 14 % ක් දක්වා වැඩි වී ඇත.
- ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවත් වීම සඳහා ජනතාව ආකර්ෂණය වන ප්‍රධානම හේතු වන්නේ වැඩි ඉඩකඩ, වැඩිදියුණු වූ යහ පැවැත්ම, නිවාස මිල දැරිය හැකි වීම සහ කාලයක් ඉතිරි වීම යන කාරණා වේ.
- මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 73%ක් සේවා ස්ථාන වල වැඩි නම්‍යශීලීභාවය ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවත් වීම කෙරෙහි ඇති උනන්දුව වැඩි කරන බව ප්‍රකාශ කොට තිබේ.
ඔස්ට්‍රේලියාව තුළ ජනතාව සංක්‍රමණය වෙන්නේ මේ ප්‍රදේශ වලටයි.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Sunshine Coast සහ Gold Coast, වික්ටෝරියා ප්‍රාන්තයේ Greater Geeloong සහ Moorabool මෙන්ම NSW හි Lake Macquarie යන ප්‍රදේශ 2023 වසරේ ජුනි දක්වා කාලය තුළ අගනගර වල සිට සංක්‍රමණය වන ජනතාව වඩාත් ආකර්ෂණය කර ගත් ප්‍රදේශ විය.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Waroona, බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Livingstone සහ Mackay, වික්ටෝරියා ප්‍රාන්තයේ Moorabool, දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Alexandrina යන ප්‍රදේශ වැඩිම ජනගහණය වර්ධනයක් ඇති ප්‍රදේශ වේ.
- සියලුම අගනගර වලින් ප්‍රාදේශීය ප්‍රදේශ වෙත වැඩිම පදිංචිකරුවන් පිරිසක් පිටව යන අගනගරය වන්නේ සිඩ්නි නුවරයි.
- ප්‍රාදේශීය ප්‍රදේශ සහ නගර අතර පදිංචිය වෙනස් කරන පිරිස විසින් බ්‍රිස්බේන් සහ පර්ත් යන නගර වඩාත් ආකර්ෂණීය අගනගර ලෙස හඳුනාගෙන තිබේ.