Latest

ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවට අඳුරු දිනයක් වූ "ජනවාරි 26" ගැන ආපසු හැරී බැලීමක් (SBS සිංහල / වාර්තා)

ජනවාරි මස 26 වන දා ඕස්ට්‍රේලියානුවන් සතුටින් සැමරුවත්, එම දිනය තම ප්‍රජා සාමාජිකයින් සමූල ඝාතනය කල සහ නෙරපා හැරීම සිදු කල දිනය වශයෙන් බොහෝ ඕස්ට්‍රේලියානු ස්වදේශිකන් සලකයි. මෙම දිනය ස්වදේශිකයින් හට, වසර සිය ගණනක ජාතිවාදී ප්‍රතිපත්තිවල - මෙන්ම ස්වදේශික දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කිරීම වැනි - අඛණ්ඩ ගැටලුකාරී ගමනක ආරම්භයද සනිටුහන් කරයි.

GettyImages-1201929861 (1).jpg

A member of the Koomurri dancers holds up an Indigenous and Australian flag during the WugulOra Morning Ceremony on Australia Day at Walumil Lawns, Barangaroo on January 26, 2020 in Sydney, Australia.

1788 වසරේ ජනවාරි 26 වැනිදා Sydney Cove වෙත බ්‍රිතාන්‍යන්ගේ පළමු බලඇණිය ගොඩබෑම සිදු වූ අතර, මෙම දිනය ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස ප්‍රකාශ කිරීම සනිටුහන් කරයි.

මෙම යටත්විජිතකරණයත් සමග වසර 65,000 කට වඩා වැඩි කාලයක් පුරා අඛණ්ඩව ඔස්ට්‍රේලියාවේ වාසය කල සහ කළමනාකරණය කල ස්වදේශිකයින් නොසලකා හැරීම සිදු විය.

මෙම දිනය නිල වශයෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික දිනය වශයෙන් වර්තමානයේ සැලකේ.

කෙසේ නමුත් බොහෝ ස්වදේශික ප්‍රජාව මෙම දිනය සැමරීම බොහෝ සෙයින් වෙනස් වේ.

ශෝක දිනය


ඕස්ට්‍රේලියාව පළමු බ්‍රිතාන්‍ය බලඇණිය ගොඩබැස වසර 150ක් සැමරූ 1938 ජනවාරි 26 දිනය William Cooper ගේ "ඕස්ට්‍රේලියානු ආදිවාසී සංගමය", Jack Patten සහ William Ferguson ගේ නායකත්වයෙන් යුත් "ආදිවාසී ප්‍රගතිශීලී ව්‍යාපාරය" මගින් ශෝක දිනයක් වශයෙන් නම් කිරීම සිදු කොට තිබේ.

කෙසේ නමුත් මෙම පිරිස, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාම ඔස්සේ ස්වදේශික ජනතාවට එරෙහිව පවතින අගතිය සහ වෙනස් කොට සැලකීම අවසන් කිරීමට සිදු කල උත්සාහයන් එවකට රජය නොසලකා හැර තිබේ.

මෙදින ශෝක දිනයක් බවට පත් කරමින් ඔවුන් උත්සාහ දරා ඇත්තේ සුදු ඕස්ට්‍රේලියානුවන් මගින් ස්වදේශික ජනතාවට කරන ලද අකටයුතුකම් සඳහා විරෝධය දැක්වීමට සහ ස්වදේශිකයින් හට පූර්ණ පුරවැසි අයිතිවාසිකම් ලබා දීමටයි.

William Cooper එවකට සඳහන් කොට සිටියේ, මේ වනවිට යම් යම් දේ වෙනස් කිරීමට හැකියාවක් පවතින අතර මේ සඳහා උපරිමයෙන් සටන් කල යුතු බවයි.

එමෙන්ම රට පුරා සිටින ආදිවාසීන්ගේ ප්‍රගතිය සඳහා සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර සෙසු ප්‍රජා සමග සහයෝගයෙන් සිටීමටත් හැකි වන බව William Cooper පැවසීය.

මෙම විරෝධතා සඳහා එක් වූ පිරිස තම රට අහිමි වීම, යටත් විජිතකරණයෙන් පසු බොහෝ සාමාජිකයින් අහිමිවීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවකින් පසුවිය.
Australian and Aboriginal Flag
Source: Getty / Getty Images

Jack Patten මෙදින සඳහන් කොට සිටියේ මේ දිනයේ සුදු ජාතිකයන් ප්‍රීති වන නමුත් ස්වදේශිකයින් වශයෙන් අපට ඕස්ට්‍රේලියාවේ 150 වැනි උපන්දිනය ගැන සතුටු වීමට හේතුවක් නොමැති බවයි.

මෙම මහද්වීපයේ ස්වදේශික ආදිවාසීන් ජීවත් වන භයානක තත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සුදු ජාතිකයින් දැනුවත් කිරීම සහ ඕස්ට්‍රේලියානු ස්වදේශිකයින් පහත් කොට සැලකීම මෙන්ම ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ කතා කිරීමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලීම මෙම රැස්වීමේ අරමුණ වන බවත් ඔහු පැවසීය.

එමෙන්ම සම්පූර්ණ පුරවැසි අයිතිවාසිකම් ඉල්ලා සිටින බවත් Jack Patten මෙහිදී අවධාරණය කොට තිබේ.

සිඩ්නි හි Australia Hall හි පැවති සම්මන්ත්‍රණයකින් මෙම විරෝධතා අවසන් වූ අතර මෙදින First Nations Rights movement නම් පළමු ජාතීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරයද ඇරඹින.

මෙහිදී William Ferguson පැවසුවේ තමන් දුෂ්කර ප්‍රාදේශීය ප්‍රදේශවල සංචාරය කොට ඇති අතර, එම ප්‍රදේශ වල ස්වදේශික ප්‍රජාව විඳින බිහිසුණු දුක් වේදනා සියැසින් දුටු බවයි.

මේ හේතුවෙන් පළමු ජාතීන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට First Nations Rights movement පිහිටවූ බවත් William පැවසීය.

අනතුරුව මෙදින ශෝක දිනයක් වශයෙන් සැමරීම ස්වදේශිකයින් සහ ඔවුන්ගේ හිතවත් පාර්ශව වාර්ෂිකව සිදු කල අතර මෙය ප්‍රතිසංස්කරණවලට සහ 1967 වසරේ ජනමත විචාරණයට බලපෑමක්ද එල්ල කළේය.

The Tent Embassy - කූඩාරම් තානාපති කාර්යාලය


1972 ජනවාරි 26 වන දින ස්වදේශිකන් සිව් දෙනෙකු, කැන්බරා හි පාර්ලිමේන්තු මන්දිරයේ ඉදිරිපිට තණකොළ සහිත ප්‍රදේශයේ විශාල කුඩයක් සවි කල අතර ඔවුන් සඳහන් කොට සිටියේ එය Aboriginal Tent Embassy, එසේත් නැතිනම් "ආදිවාසී කූඩාරම් තානාපති කාර්යාලය" ලෙසයි.

විරෝධතා දැක්වීමේ මෙම නව ක්‍රමය මගින් ස්වදේශිකයින්ගේ අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරය නැවත පණ ගැන්වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්ද ලැබිණ.

Pic Radio Redfern.jpg
Radio Redfern was the main source of information for people wanting to join the protests. The broadcast included interviews and music from First Nations artists.

ද්විත්ව සංවත්සර විරෝධතා සහ පැවැත්මේ දිනය


1988 ජනවාරි 26 වන දින ඕස්ට්‍රේලියානුවන්, තම ජීවිතයේ ධනාත්මක අත්දැකීමක් නිරූපනය කරන උත්සව සමඟින් බ්‍රිතාන්‍ය ආගමනයේ 200 වන වසර සමරමින් සිටි අතර මෙදින ඕස්ට්‍රේලියානු ස්වදේශිකයින් දහස් ගණනක් සිඩ්නි හි විරෝධතාවයක නිරත විය.

මේ සඳහා පුද්ගලයින් 40,000ක් පමණ එක්ව සිටි අතර මෙම විරෝධතාව වියට්නාම් යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියාවේ සිදු වූ විශාලතම විරෝධතාවය වශයෙන් සැලකේ.

වසර 1987-1991 යන කාලය තුලදී ස්වාදෙශිකයින්ගේ මරණ සම්බන්ධයෙන් සොයා බැලීමට රාජකීය කොමිසමක් ඉල්ලීම මෙම විරෝධතා සඳහා ප්‍රධාන වූ අතර ඒ සමගම ඉඩම් අයිතිවාසිකම් සහ ගිවිසුම සඳහා වන ඉල්ලීම්ද පැවතින.

1988 වසරේ විරෝධතා අතරතුර ඕස්ට්‍රේලියානු ස්වදේශිකයින් ජනවාරි 26 වනදා 'Invasion Day' වශයෙන් නම් කල අතර ‘White Australia has a Black History — Don't Celebrate 1988' and 'Australia Day = Invasion Day 1988' වශයෙන් වූ වැකි සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමද සිදු විය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආදිවාසී ඉඩම් හිමිකම් පනතේ රෙජිස්ට්‍රාර් සහ මාර්තු 88 කමිටුවේ සාමාජික Chris Kirkbright සඳහන් කොට සිටියේ ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවට සැමරිය හැකි දෙයක් සුදු මිනිසුන්ගේ පැමිණීම තුළ නොමැති බවයි.

මෙය ජන සංහාරයේ, සංස්කෘතිය විනාශ කිරීමේ, වේදනාව සහ දුක්ඛිතභාවය සහ රෝග ගෙන ඒමේ ආරම්භය වන නිසා, සාධාරණ මනසක් ඇති කිසිදු ඕස්ට්‍රේලියානුවකුට මෙම බ්‍රිතාන්‍ය ආගමනය සැමරීමට හේතුවක් නොමැති බවත් Chris Kirkbright මෙම විරෝධතා අතරතුර පැවසීය.

Chris Kirkbrightගේ මෙම අදහස් විරෝධතාකරුවන් විසින් ප්‍රතිරාවය කරන ලද අතර, ඔවුන්ගේ හඬ එවකට Radio Redfern මගින් ප්‍රචාරය විය.

මෙහිදී එක් විරෝධතාකරුවකු සඳහන් කොට සිටියේ එදින ශෝක දිනයක් වනවා මෙන්ම සුදු ආක්‍රමණයෙන් වසර 200 ක් පුරා ස්වදේශිකයින් දිවි ගලවා ගැනීම සම්බන්ධයෙන් ගත් කල, සැමරුම් දිනයක්ද වන බවයි.

Australian day date
Source: ABC Australia
මෑත කාලීනව, මෙම ජනවාරි 26 වැනි දිනය ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට සැමරිය හැකි දිනයක් නොවීම හේතුවෙන්, මෙම දිනය වෙනස් කරන ලෙසට වන ඉල්ලීම් අඛණ්ඩව ඉහල යමින් තිබේ.

මෙම දිනය වෙනස් කිරීම සඳහා Change the Date නමින් ව්‍යාපාරයක් පිහිටුවාගෙන තිබෙන කණ්ඩායමට මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නන් දෙසින් සහය ලැබෙන අතර, ඔස්ට්‍රේලියාව පුරා මොවුන්ගේ රැලි වලට විශාල පිරිසක් සහභාගී වීමත් වර්තමානයේ දක්නට ලැබේ.

    Share
    Published 26 January 2023 6:55am
    Updated 26 January 2023 7:05am
    By Bertrand Tungandame, Nipuna Dodangoda
    Source: SBS


    Share this with family and friends