කොරෝනා වෛරස තත්වයක් පැවතීම සහ ඔස්ට්‍රේලියාවට ශීත සෘතුව ලඟා වීම යන සුවිශේෂී හේතුන් මත සෑම වසරකම පාහේ ලබාගැනීමට නිර්දේශ කොට ඇති උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වන ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබගැනීම සෑම ඕස්ට්‍රේලියානු වැසියෙකුටම ඉතා වැදගත් වේ. මේ පිළිබඳව SBS සිංහල සේවය සිය අවධානය යොමු කල අතර ඒ සඳහා ඔඅබ දැනගත යුතු වැදගත් කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
සවන්දෙන්න SBS සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
93.1 fm VIC, 97.7 fm NSW, 93.3 fm QLD, 96.9fm WA, 105.5 fm ACT, 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වන ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ඕස්ට්‍රේලියාවේ සිටින සෑම පුද්ගලයකුම ශීත සෘතුවේදී සිදුකලයුත්තක් වන අතර එමගින් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදීමේ අවධානම සම්පුර්ණයෙන්ම ඉවත් කෙරේ. කෙසේ වෙතත් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ සඳහා පමණක් මෙම එන්නත මගින් ප්‍රතිශක්තිකරණය ලැබෙන අතර අනෙකුත් වෛරස් උණ රෝගයන් සඳහා මෙම එන්නත ක්‍රියාකාරී නොවේ.
ඉන්ෆ්ලුවෙන්සා උණ වලක්වාගැනීමට කටයුතු නොකළහොත් එම රෝගය වැළදීමෙන් අතුරු අබාධ ඇතිවීමේ අධික අවධානමක් පවතින බව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෛද්‍ය සුනිමලී ප්‍රනාන්දු මහත්මිය SBS සිංහල ගුවන්විදුලියට පවසා සිටියාය. මේ හේතුන් මත ශීත සෘතුව එළඹීමත් සමග ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම අතිශය වැදගත් වේ.
මෙම ඉන්ෆ්ලුවෙන්සා එන්නත පිළිබඳව ජනතාව අතරද විවිධ මත පවතී. මෙම මතයන්හි පවතින සත්‍ය අසත්‍යතාව පිළිබඳවද SBS සිංහල සේවය සිදුකල කළ විමසුමේදී පහත කරුණු හෙළිදරව් විය

Source: Jeffrey Greenberg/Education Images/Universal Images Group via Getty Images
මින් පෙර ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලඳුනද තමාට දැඩි අපහසුවක් නොදැනුනු අතර එමනිසා ඉන්ෆ්ලුවෙන්සා එන්නත අත්‍යාවශ්‍ය නොවන බවට පවතින මතය.
කිහිපවරක් ඉන්ෆ්ලුවෙන්සා උන රෝගය වැලඳුනද යම් අවස්ථාවකදී එය “නිව්මෝනියා” තත්වය දක්වා වර්ධනය විය හැක. කුඩා ළමුන්, වයස අවරුදු 65 ඉක්මවූ පුද්ගලයින්,ගර්භනී මාතාවන්, නිව්මෝනියාව හෝ ඇදුම රෝගය කිහිපවරක් වැළඳුනු පුද්ගලයින්,පිළිකා රෝගීන් ඇතුලු ප්රතිශක්තීකරණය අඩු පුද්ගලයින් මෙම එන්නත අනිවාර්යයෙන්ම ලබාගතයුතු බව වෛද්‍ය සුනිමලී ප්‍රනාන්දු SBS සේවයට අවධාරණය කර සිටියාය.
මින් පෙර ඉන්ෆ්ලුවෙන්සා රෝගය තමාට වැළඳී නොමැති අතර ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීමෙන් පසු උණ රෝගය වැළඳීමේ අවධානමක් ඇති බවට පවතින මතය.
ඉන්ෆ්ලුවෙන්සා එන්නත කිසිසේත්ම සජීවී එන්නතක් නොවන අතර මෙමගින් රෝගය වැළදීමේ කිසිඳු අවධානමක් නොමැති බව වෛද්‍ය සුනිමලී ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කර සිටී. යම් හෙයකින් හෝ එන්නත ලබාදීමට පෙර පුද්ගලයකුගේ ශරීරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඇතුල් වී තිබුණි නම් එවැනි තත්වයකදී ඉන්ෆ්ලුවෙන්සා උණ එම පුද්ගලයට වැළදීමේ හැකියාවක් පවතී. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වන ඉන්ෆ්ලුවෙන්සා එන්නත ශරීරය තුල ක්‍රියාකාරී වීමට දින 10ක පමණ කාලයක් ගතවීම ඊට හේතු වේ.
එන්නත මගින් වෙනත් දරුණු හානිකර අබාධ ඇතිවීමේ අවධානමක් පවතින බවට ඇති මතය.
මෙම එන්නත මගින් හානිකර තත්වයක් පුද්ගලයකුට අතිවීමේ කිසිදු හැකියාවක් නොමැති අතර එන්නත ලබාදුන් බාහුවේ යම් වේදනාවක් ඇතිවීමේ හැකියාවක් පවතී. එමෙන්ම යම් උණ ගතියක් දැනීමේ හැකියාවද ඇතැම් පුද්ගලයින්ට පවතී. පුද්ගලයින් මිලියන 10කින් එක අයකුට පමණක් ස්නායු පද්ධතියේ යම් අබාධයක් ඇතිවීමේ දුර්ලභ ප්රවනතාවයක් පවතී.
කෙසේ වුවද යම් අයෙකුට බිත්තර අහාරයට ගැනීම මගින් දරුණු ආසාත්මිකතා ඇතිවන්නේ නම් එවැනි පුද්ගලයින් හට මෙම එන්නත ලබා නොදේ.

Source: Getty Images/Mindklongdan
එන්නත ලබාගැනීමෙන් සති කිහිපයකට පසු උණ රෝගය වැළඳීම හේතුවෙන් එන්නත ලබාගැනීම වැදගත් නොවන බවට ඇති මතය.
මෙම එන්නත මගින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා පමණක් සාර්ථක ප්‍රතිපල අත්කර දෙන අතර Rhinovirus, RSV ඇතුලු අනෙකුත් වෛරස හෝ උණ රෝග සඳහා ඉන්ෆ්ලුවෙන්සා එන්නත ප්‍රතිකර්මයක් නොවේ.
ගර්භනී අවස්ථාවේ සිටින මව්වරුන් හට මෙම එන්නත ලබාගැනීම යෝග්‍යද, යන මතය.
ගර්භනී සමයේදී සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් ලබා නොදුන්නද, ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ඉතා වැදගත් වේ. ගර්භනී සමය තුළ කුමන අවස්ථාවක වුවද මෙම ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීමේ හැකියාව පවතින අතර එය ඉතා ආරක්ෂිත වේ.
පවතින කොරෝනා වසංගත තත්වය සමග මෙම ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම මගින් ආරක්ෂාවක් පවතින බවට ඇති මතය.
මෙම ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගැනීම මගින් කොරෝනා වෛරසය සෘජුවම වැළක්වීමේ හැකියාවක් කිසිසේත්ම නොපවතී. කෙසේ වුවද මෙම එන්නත ලබාගැනීම මෙම ව්‍යසනකාරී සමය තුළ ඉතාමත් වැදගත් වේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳුනහොත් එමගින් ශරීරයේ පවතින ප්‍රතිශක්තිය අඩු කිරීමක් සිදුවේ එවැනි අවස්ථාවක මනුෂ්‍ය ශරීරය COVID -19 ඇතුලු වෙනත් රෝගයන්ට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතී.
එසේම ඉන්ෆ්ලුවෙන්සා වෛරසයත් සමග COVID -19 වෛරසය වැලඳුනහොත් පුද්ගලගේ සෞඛ්‍ය තත්වය දැඩි අවදානම් තත්වයකට පත්වීමේ හැකියාවක් පවතින අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදුණු රෝගීන් සහ COVID -19 වෛරසය වැළදුණු රෝගීන් විශාල ප්‍රමාණයක් එකම කාලසීමාවකදී රෝහල් ගතකිරීමක් සිදුවුවහොත් එය රෝහල් ක්ෂේස්ත්‍රයටද දැඩි බලපෑමක් වනු ඇත. මෙම හේතුන් මත එන්නත ලබාගැනීම මගින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වලක්වාගැනීම මෙම කාලය තුළදී ඉතාමත් වැදගත් වේ.
රාජ්‍ය මට්ටමින්, COVID -19 වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මැඩපැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු රජය මේ වනවිට ප්‍රශංසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සීටී. ජනතාවගේ පහසුව උදෙසා ඉන්ෆ්ලුවෙන්සා එන්නත් මිලියන ගණනක් ආනයනය කොට ඇති අතර සහ ඒවා වෛද්‍ය සේවා ලබාදෙන ස්ථාන සහ බෙහෙත් ශාලා සඳහා කඩිනමින් බෙදාහැරීම රජය මගින් සිදුකරනු ලබයි. මෙම හේතුව මත මේ වනවිට ඉන්ෆ්ලුවෙන්සා එන්නතෙහි කිසිදු හිගයක් නොපවතින අතර ජනතාවට වෛද්‍ය සේවා ලබාදෙන ස්ථාන මගින් හෝ බෙහෙත් ශාලා මගින් එන්නත ලබාගැනීමේ හැකියාව පවතී. එමෙන්ම හැකි ඉක්මනින් මෙම එන්නත රෝගීන් හට ලබාදෙන මෙන් චක්රලේකයක්ද රජය මගින් වෛද්‍යවරුන් වෙත නිකුත් කොට තිබේ.

Source: Getty Images/fstop123
ඉන්ෆ්ලුවෙන්සා එන්නත නොමිලේ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම්.
වයස මාස 6 සහ ඊට වැඩි සියලුම Torres Strait දූපත් වාසී පිරිස සහ සියලුම ඔස්ට්‍ර්ලියානු ආදිවාසී පිරිස සුදුසුකම් ලබයි
ආදිවාසී සහ සෞඛ්‍ය අවධානමකින් පෙළෙන මස 6 සිට වයස අවුරුදු 5 දක්වා වූ සියලුම ළමුන් සුදුසුකම් ලබයි
පහත සඳහන් ආකාරයේ වූ දැඩි සෞඛ්‍ය අවධානමකින් පෙළෙන වයස අවුරුදු 5 හෝ ඉක්මවූ සියලුම පිරිස සුදුසුකම් ලබයි
- cyanotic congenital heart disease, coronary artery disease සහ congestive heart failure වැනි හෘද රෝග තත්වයන්
- suppurative lung disease, chronic obstructive pulmonary disease සහ severe asthma වැනි නිදන්ගත ශ්වසන රෝග තත්වයන්
- diabetes mellitus, chronic metabolic diseases, chronic renal failure සහ haemoglobinopathies වැනි නිතිපතා වෛද්‍ය පරීක්ෂණ කිරීමට අවශ්‍ය හෝ රෝහල් ගත කිරීමට අවශ්‍ය වන රෝග තත්වයන්
- කොඳු ඇට පෙළ ආශ්‍රිතව පවතින නිදන්ගත ස්නායු රෝග තත්වයන්
- HIV, malignancy සහ chronic steroid භාවිතය හේතුවෙන් ඇතිවන දුර්වල ප්‍රතිශක්තිකරණ තත්වයන්
Aspirin චිකිත්සාව සඳහා දීර්ඝ කාලයක් මුහුණ දුන් වයස මාස 6 සිට අවුරුදු 10 දක්වා වන ළමුන් සුදුසුකම් ලබයි
ගර්භනී මාතාවන් සුදුසුකම් ලබයි (ගර්භනී සමය තුළ ඕනෑම අවස්ථාවක ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීමේ හැකියාව පවතී)
වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් සුදුසුකම් ලබයි (මෙම කණ්ඩායම සඳහා විශේෂයෙන් නිර්මාණය කල ඉහල ප්‍රතිශක්තිකරණයක් සහිත එන්නත් ඔවුන්ට ලබාගත හැක)
COVID-19 ව්‍යසන කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා එන්නතෙහි පවතින වැදගත්කම පිළිබඳව සිඩ්නි නුවර වෛද්‍ය සුනිමලී ප්‍රනාන්දු මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල ගුවන්විදුලි සාකච්චාව ඇසුරෙනි.
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හා සම්බන්ධ තොරතුරු ලබාගැනීමට මගින් ඔබට හැකියාව පවතී.