ඔස්ට්‍රේලියාවෙන් පිටතදී කරදරයක් හෝ හදිසි අවශ්‍යතාවක් හෝ ඇතිවූ විට කොන්සියුලර් සේවා ලබා ගන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන්ට විදේශයන්හි ඇතිවන අර්බුදකාරී අවස්ථාවකදී පමණක් ඔස්ට්‍රේලියාව විසින් සපයන කොන්සියුලර් සේවා ලබාගත හැකිය.

How to get consular services when you are outside of Australia

Credit: Niluka Jayasundera

ඔස්ට්‍රේලියාවෙන් පිටත විදෙස් රටකදී ඔබට යම් කරදරයක් හෝ හදිසි අවශ්‍යතාවක් හෝ ඇතිවූ විට ඔස්ට්‍රේලියානු රජය විසින් සපයනු ලබන කොන්සියුලර් සේවා ලබාගැනීමට හැකියාවක් ඇති බව ඔබ දන්නවාද?

එලෙස ඔස්ට්‍රේලියානු රජය විසින් සපයනු ලබන කොන්සියුලර් සේවා ලබාගත හැක්කේ කාහටද සහ කෙලෙසද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.



ඔස්ට්‍රේලියානු රජයේ කොන්සියුලර් සේවා ලබාගත හැක්කේ කාටද?

  • ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට
  • කැනඩාවේ-ඕස්ට්‍රේලියාවේ කොන්සියුලර් සේවා බෙදාගැනීමේ විධිවිධාන ලයිස්තුවේ ලැයිස්තුගත කර ඇති ස්ථානවල සිටින කැනේඩියානු පුරවැසියන්ට
ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන්ට විදේශයන්හි ඇතිවන අර්බුදකාරී අවස්ථාවකදී පමණක් ඔස්ට්‍රේලියාව විසින් සපයන කොන්සියුලර් සේවා ලබාගත හැකිය.

යම් රටක හදිසි තත්ත්වයක් ඇතිවූ විට ඒ රටෙන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් ඉවත් කරගැනීමේ රජයේ මෙහෙයුම්වලින් ස්ථිර පදිංචිකරුවන්ටද සහය ලබාගත හැකිය.

ඔබ ද්විත්ව පුරවැසියෙක් නම්, ඔස්ට්‍රේලියානු රජයට සහාය වීමට හැකි වන්නේ ඔබේ අනෙක් පුරවැසිභාවය හිමි රට තුළ ඇතිවන සුවිශේෂී අවස්ථාවන්හිදී පමණි.


ඔබෙන් ඉල්ලා සිටින දේවල්

  • ඔබ සංචාරය කරන රටේ නීතිවලට කීකරු වීම ඇතුළුව විදේශයන්හි ඔබේ සංචාරක ගමනාන්ත තේරීම්, ඔබේ ආරක්ෂාව, මුල්‍ය කටයුතු සහ ඔබේ හැසිරීම පිළිබඳ පුද්ගලික වගකීම ඔබ ගත යුතුය.
  • සුදුසු සංචාරක සහ වෛද්‍ය රක්ෂණයක් ලබා ගන්න.
  • smartraveller.gov.au හි ඔස්ට්‍රේලියානු රජයේ සංචාරක උපදෙස් සහ ප්‍රාන්ත රජයන්හි උපදෙස් අනුගමනය කරන්න.
  • ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ආරක්ෂා කරගන්න, එය නැතිවී හෝ සොරකම් කර ඇත්නම් වහාම වාර්තා කරන්න.
  • කොන්සියුලර් කාර්ය මණ්ඩලයට ගෞරවාන්විතව සලකන අතරේ කොන්සියුලර් සහාය ලබා ගැනීමේදී අදාළ සියලු තොරතුරු ලබා දීමට අවංක වන්න.
  • කොන්සියුලර් සේවාවන් වැඩිදියුණු කිරීමට රජයට උපකාර කිරීමට ඔබේ ප්‍රතිචාරය ලබා දෙන්න.
 

ඇතැම් තත්ත්වයන් යටතේ කොන්සියුලර් සේවා සහය සීමිත විය හැකිය

කොන්සියුලර් සහාය ලබාගැනීම සඳහා ඔබට නීතිමය අයිතියක් නොමැති අතර සහය ලබා දෙනු ඇතැයි ඔබ උපකල්පනය නොකළ යුතු බව රජය පවසයි.

උදාහරණයක් ලෙස පහත සඳහන් අවස්ථාවලදී කොන්සියුලර් සහාය ලබාදීම සීමා කිරීමට සිදුවන බවද මධ්‍යම රජය අවධාරණය කරයි:
  • අදාළ රටේ ඔබේ ක්‍රියාවන් නීති විරෝධී ඒවා නම්
  • ඔබ හිතාමතා හෝ නැවත නැවතත් නොසැලකිලිමත් ලෙස හෝ නොමනා අන්දමින් ක්‍රියා කර ඇත්නම්
  • ඔබ, ඔබ හෝ අන් අය අවදානමට ලක් කර ඇත්නම්
  • ඔබ මීට පෙර කොන්සියුලර් සහාය අවස්ථා කිහිපයකදී ලබාගැනීමට අවශ්‍ය වන හැසිරීම් රටාවක් නැවත නැවත පෙන්නුම් කර ඇත්නම්

කොන්සියුලර් සහය යටතේ ලබා දිය හැකි උපකාර

සෑම සිද්ධියක්ම එකිනෙකට වෙනස් වන අතර කොන්සියුලර් සම්පත් පවතින තත්ත්වයන් සහ ලබා ගැනීමේ හැකියාව මත රඳා පවතී.

බොහෝ විට කොන්සියුලර් සහය යටතේ පහත සඳහන් උපකාර ඔබට ලබාගත හැකිවනු ඇත:
  • ගාස්තුවක් මත ආදේශන ගමන් බලපත්‍ර සහ ගමන් ලියකියවිලි නිකුත් කිරීම
  • මානසික සෞඛ්‍ය සහාය ඇතුළුව දේශීය වෛද්‍යවරුන් සහ රෝහල් ඔබ සිටිනා ස්ථානයේ තිබේ නම් ඒවා පිළිබඳ විස්තර සැපයීම
  • ඔබ බරපතල පහරදීමකට හෝ වෙනත් අපරාධයකට ගොදුරු වී ඇත්නම් හෝ ඔබ අත්අඩංගුවට ගනු ලැබුවහොත්, එම රටෙහි නීතීඥයින් සහ පරිවර්තකයන්ගේ විස්තර ඇතුළුව උපදෙස් සහ සහාය ලබා දීම
  • ඔබව අත් අඩංගුවට ගෙන හෝ රඳවාගෙන සිටින්නේ නම් ඔබේ සුභසාධනය පරීක්ෂා කිරීමට ඔබ වෙත පැමිණෙන්න හෝ සම්බන්ධ කරගැනීම, ඔබ අත්අඩංගුවට ගෙන සිටින රටේ නීතිය යටතේ රඳවාගෙන සිටින අනෙක් අයට මෙන් ඔබටත් සලකන බව සහතික කිරීමට කළ හැකි දේ කිරීම
  • විදේශයන්හි වෙසෙන ඥාතීන්ගේ මරණයක්, අතුරුදහන් වූවන් සහ පැහැරගැනීම් ඇතුළු වෙනත් අවස්ථා ගණනාවකට උපදෙස් සහ සහාය ලබා දීම
  • ඔබ එකඟ නම්, ඔබ වෙනුවෙන් මිතුරන් හෝ පවුලේ අය සම්බන්ධ කර ගැනීම, ඇතැම් අවස්ථා වලදී අපට ඔබගේ කැමැත්ත ලබා ගැනීමට නොහැකි වවන අවස්ථාවක ඔබගේ මිතුරන් හෝ පවුලේ අය සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විය හැක
  • ජාත්‍යන්තර ත්‍රස්තවාදය, සිවිල් සමාජය කැළඹීම් සහ ස්වභාවික විපත් සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන සලසා දීම (ගාස්තු අදාළ විය හැක)
  • සාක්ෂි දීම සහ authenticating documents හෙවත් ලියකියවිලි සත්‍යාපනය කිරීම සහ දිවුරුම් සහ සහතික කිරීම් පරිපාලනය ඇතුළු නොතාරිස් සේවාවන් සැපයීම (ගාස්තු අදාළ වේ)
  • ඇතැම් ස්ථානවල, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් සහ ඇතැම් ප්‍රාන්ත මැතිවරණ සඳහා ඡන්ද සේවා සැපයීම

කොන්සියුලර් සහය යටතේ කළ නොහැකි දේ

ඇතැම් කාර්යයන් කොන්සියුලර් භූමිකාවෙන් පිටත ඇති අතර උදාහරණයක් ලෙස පහත ඒවා කළ නොහැකි බව ඔස්ට්‍රේලියානු රජය පවසයි:
  • වෙනත් රටක ඔබේ ආරක්ෂාව සහතික කිරීමට හෝ ඔබේ සංචාරක විධිවිධාන සලසා දීම
  • ඔබට නීති උපදෙස් ලබා දීම, ලේඛන අර්ථ දැක්වීම හෝ පරිවර්තනය කිරීම
  • රැකියා ආරවුල්, වානිජ ආරවුල්, අපරාධ නඩු, සහ පවුල් නීති කාරණා හෝ ළමා භාරකාර ආරවුල් ඇතුළු වෙනත් රටක අධිකරණ ක්‍රියාදාමයන් හෝ නීතිමය කටයුතු සඳහා මැදිහත් වීම
  • අදාළ රටේ ආයතනවල වගකීම් වන විදේශයන්හි අපරාධ හෝ මරණ විමර්ශනය කිරීම හෝ අතුරුදහන්වූවන් සෙවීම් සිදු කිරීම
  • ඔබව සිරෙන් නිදහස් කරගැනීම හෝ පිටුවහල් කිරීමෙන් වළක්වා ගැනීම
  • අදාළ රටේ සිරකරුවන්ට වඩා ඔබට සිරගෙදරදී හොඳ සැලකිල්ලක් ලබා දෙන ලෙස ඉල්ලීම
  • ඇප ලබා දීම හෝ ඔබේ දඩ මුදල් හෝ නෛතික වියදම් ගෙවීම
  • ඔස්ට්‍රේලියානු හෝ වෙනත් භාරකාර ගිවිසුමක් විදේශයන්හි බලාත්මක කිරීම හෝ භාරකාර නඩුවක් තීරණය කිරීමට රටකට බල කිරීම
  • වෛද්‍ය හෝ මනෝචිකිත්සක සේවා හෝ ඖෂධ සඳහා ගෙවීම
  • ඔබේ විශ්‍රාම වැටුප් හෝ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගෙවීම
  • වෙනත් රටවල් සඳහා වීසා, බලපත්‍ර, රැකියා හෝ පදිංචි බලපත්‍ර සකස් කිරීම
  • වෙනත් රටවල ආගමන, රේගු හෝ නිරෝධායන කටයුතුවලට මැදිහත් වීම
  • ගමන් මලු හෝ වෙනත් පුද්ගලික භාණ්ඩ ගබඩා කිරීම
  • ඔබ වෙනුවෙන් තැපැල් භාණ්ඩ ලැබීම හෝ යැවීම
 

ඔබට කළ හැකි දේ

පහත ආකාරයෙන් දැනුවත් වෙන්න
  • smartraveller.gov.au හි නවතම සංචාරක උපදෙස් පරීක්ෂා කරන්න.
  • යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට සමාජ මාධ්‍යවල ඇති Smartraveller ගිණුම් හා සම්බන්ධ වන්න.
  • ඔබ ගමන් කිරීමට පෙර ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ කල් ඉකුත්වන දිනය පරීක්ෂා කරන්න. ඔබ එම රටෙන් බැහැරව යාමට අදහස් කරන දින සිට මාස හයක් සඳහා ඔබගේ විදේශ ගමන් බලපත්‍රය වලංගු නම් මිස ඇතැම් රටවල් ඔබට ඇතුළු වීමට ඉඩ නොදේ.
  • නිර්දේශිත එන්නත් සහ අනෙකුත් සෞඛ්‍ය පූර්වාරක්ෂාවන් පිළිබඳව සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ පරීක්ෂා කරගන්න. එන්නත් කිරීම ඇතැම් රටවලට ඇතුල් වීමේ අවශ්‍යතාවයක් විය හැක.
  • ඔබ සංචාරය කරන හෝ සංක්‍රමණය වන රටවල් සඳහා ඔබට නිවැරදි වීසා බලපත්‍රයක් ඇති බවට වග බලා ගන්න, අනෙකුත් ඇතුල්වීමේ හෝ පිටවීමේ අවශ්‍යතා පරීක්ෂා කරන්න.
  • ඔබ ඖෂධ නිෂ්පාදන හෝ ඖෂධ රැගෙන යන්නේ නම්, ඔබ සංචාරය කරන රට තුළ ඒවා සඳහා අවසර දී ඇති බවට වග බලා ගන්න.
  • ඔබ සංචාරය කිරීමට අදහස් කරන රටේ ජාතිකයෙකු ලෙස ඔබ සලකන්නේ දැයි සහ ද්විත්ව පුරවැසිභාවය ඔබේ සංචාරක සැලසුම් සඳහා බලපෑම් ඇති කරයිද යන්න පිළිබඳ පරීක්ෂා කරන්න.

පහත ආකාරයෙන් සූදානම් වෙන්න

  • ඵලදායී සංචාරක සහ වෛද්‍ය රක්ෂණයක් ලබා ගන්න. ඔබ සංචාරය කරන ස්ථාන, ඔබ කරන දේවල් සහ ඕනෑම පෙර පවතින රෝගී තත්ත්වයන් හෝ වත්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා එය ඔබව ආවරණය කරන බවට සහතික වන්න.
  • සංචාරය කිරීමට පෙර ඔබේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ගැන සලකා බලා ඔබේ එන්නත් යාවත්කාලීන බවට සහතික වන්න.
  • ඔබට හෝ ඔබ සමඟ ගමන් කරන කෙනෙකුට විදේශගතව සිටින විට මානසික සෞඛ්‍ය සහය අවශ්‍ය නම්, පිටත්ව යාමට පෙර සංචාර සහ මානසික සෞඛ්‍යය පිළිබඳ ඔස්ට්‍රේලියානු රජයේ උපදෙස් කියවන්න.
  • ඔබගේ නිශ්චිත ගමනාන්තය සඳහා ප්‍රමාණවත් අරමුදල් ඇති බවට සහතික වන අතරේ ගමන් කරන අතරතුර එම අරමුදල් වෙත ප්‍රවේශ විය හැකිදැයි තහවුරු කරගන්න.
  • ඔබගේ විදේශ ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර සහ රක්ෂණ ඔප්පුවල පිටපත් සාදා, පිටපතක් නිවසේ සිටින අයෙකුට දී තබන්න.
 

සම්බන්ධ කරගත යුත්තේ කවුරුන්ද?

හදිසි කොන්සියුලර් සහාය කැන්බරා හි කොන්සියුලර් හදිසි මධ්‍යස්ථානය (CEC) ඇමතීමෙන් දවසේ පැය 24 පුරාම ලබා ගත හැකිය, ඒ සඳහා:
  • ඔබ ඔස්ට්‍රේලියාව තුළ සිටී නම් 1300 555 135 දුරකතන අංකය හෝ
  • ලොව වෙනත් රටක සිටී නම් +61 2 6261 3305 දුරකතන අංකය අමතන්න.
ඔබ විදේශගතව සිටින්නේ නම් සහ එය වැඩ කරන වේලාවෙන් පිටත නම්, ඔබට ඔබ සිටිනා රටේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය, මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය අමතා CEC වෙත සම්බන්ධ වීමට මාර්ගයක් සකසා ගත හැකිය.

ඔබට ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හෝ කොන්සල් කාර්යාලවල ලිපිනයන් සහ දුරකථන අංක smartraveller.gov.au වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.



Share
Published 23 May 2023 4:53pm
Updated 23 May 2023 4:58pm
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends