ඔස්ට්‍රේලියාව 2023 දී COVID සමඟ සටන් කිරීමට සැලසුම් කරන්නේ මෙහෙමයි

2023 වසරේදී COVID-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අතිරේක ඩොලර් බිලියන 2.8 ක් ආයෝජනය කරයි.

ANTHONY ALBANESE CHEMIST VISIT

Prime Minister Anthony Albanese (left) and Minister for Health Mark Butler (second left) visit a chemist store in Kingston in Canberra. (file) Source: AAP / MICK TSIKAS/AAPIMAGE

අනෙකුත් ශ්වසනාබාධ සඳහා හේතුවන වයිරස් මෙන් COVID-19 ද කළමනාකරණය කිරීමට යොමුවන් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර ඇත

නමුත් ඔස්ට්‍රේලියාව තවදුරටත් නොමිලයේ කොවිඩ්-19 එන්නත් ලබා දෙන අතර අනාගතයේදී වඩා හොඳ කොවිඩ් එන්නත් ද ලබා දෙනු ඇත.

එමෙන්ම නව කොවිඩ් ප්‍රභේද සහ අනාගත කොවිඩ් රැළි සමඟ ගනුදෙනු කිරීමට ඔස්ට්‍රේලියානුවාසීන්ට උපදෙස් දෙනු ඇත, එමෙන්ම COVID-19 ප්‍රතිකාර පිළිබඳ දැනුවත් කිරීම් වැඩි කරනු ඇත.

COVID-19 සහිත පුද්ගලයින්

COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන ඔස්ට්‍රේලියානුවන්ට නිවසේදී ඔවුන්ගේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම සඳහා 1800 020 080 යන අංකය ඔස්සේ 'Healthdirect Living with COVID සේවාව' ඇමතීමට හැකිය.

Medicare-සුදුසුකම් ලත් අයට පුද්ගලිකව ද ලබා දිය හැකි (රෝහලෙන් පිටත) උපදේශන සඳහා ටෙලිහෙල්ත් (වීඩියෝ සහ දුරකථන) සේවාවන් වෙත ප්‍රවේශ වීමටද හැකිය.

කෙසේ වෙතත්, මධ්‍යම රජය 2023 මාර්තු මාසයේ සිට පවුලේ වෛද්‍යවරුන් ප්‍රමුඛ කරගත් ශ්වසන සායන වසා දමනු ඇත.

මධ්‍යම රජය 2020 මාර්තු මාසයේදී පවුලේ වෛද්‍යවරුන් සමඟ මෙම සායන ස්ථාපිත කළේ ශ්වසන පත්‍රිකා ආසාදන රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් තක්සේරු කිරීම, පරීක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීමටය.

සියලුම ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සහ “ආසාදිත රෝගීන් සහ සෞඛ්‍ය පද්ධතියේ අනෙකුත් අංශවලින් පීඩනය ඉවත් කිරීමට” අවශ්‍ය පරිදි මෙම සායන නැවත සක්‍රිය කළ හැකි බව රජය පැවසීය.

කොවිඩ් පරීක්ෂා කිරීම්

ඉදිරි මාස 12 තුළ COVID-19 පරීක්ෂණ අවශ්‍යතා අනෙකුත් ශ්වසන රෝග සමඟ සමපාත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.

2023 ජනවාරි 1 සිට, ඔස්ට්‍රේලියානුවන්ට Medicare සහන සහිත PCR පරීක්ෂණයක් කරගැනීම සඳහා වෛද්‍ය හෝ හෙද වෘත්තිකයකුගෙන් නිර්දේශ කිරීමක් අවශ්‍ය වේ.

අඩු අවදානම් සහිත පුද්ගලයින් PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය හෝ නිර්දේශ නොකරයි.

කෙසේ වෙතත්, ඔවුන්ට ශ්වසන සහ අනෙකුත් COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් Rapid Antigen පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔවුන්ට උපදෙස් දෙනු ලැබේ.

ඔවුන්ගේ Rapid Antigen පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක නම් සහ ඔවුන්ගේ රෝග ලක්ෂණ පවතින්නේ නම් ඔවුන් වෛද්‍යවරයකුගේ නිර්දේශ කිරීමක් ලබා ගත යුතුය.

දරුණු ලෙස COVID-19 අවදානම වැඩි අයට PCR පරීක්ෂණ සහ ප්‍රාථමික සත්කාර සේවා සඳහා ප්‍රමුඛත්වය දෙන බව සෞඛ්‍ය සහ Aged Care දෙපර්ත්මන්තුව පවසයි.

වයස්ගත ඔස්ට්‍රේලියානුවන්, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්, ආබාධිත පුද්ගලයන්, සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්, දුරස්ථ ප්‍රජාවන්හි වෙසෙන පුද්ගලයන්, සංකීර්ණ නිධන්ගත සෞඛ්‍ය ගැටළු ඇති පුද්ගලයින් සහ ප්‍රතිශක්තිකරණය අඩු අය මේ සඳහා ඇතුළත් වේ.

රෝග පාලනය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යස්ථානයක් (CDC) පිහිටුවීම

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇමෙරිකාවේ මෙන් ඔස්ට්‍රේලියාවේ ද රෝග පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදහස් කරයි.

එය COVID-19 නිසා උගත් පාඩම් උපයෝගී කර ගැනීමට සහ අනාගත වසංගත සහ අනෙකුත් මහජන සෞඛ්‍ය අභියෝග සඳහා ඔස්ට්‍රේලියාව සූදානම් කිරීමට උපකාරී වනු ඇතැයි මධ්‍යම රජය විශ්වාස කරයි.

මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙය සූදානම් කිරීමේ කටයුතු සඳහා ඔක්තෝබර් අයවැයෙන් අරමුදල් සපයනු ලබන බවද මධ්‍යම රජය සඳහන් කරයි.

CDC ස්වාධීන විය යුතු බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ මහාචාර්ය Stephen Robson කියා සිටී.

එදිනෙදා දේශපාලන අවශ්‍යතා සඳහා නොව මහජන අවශ්‍යතා සඳහා ක්‍රියා කිරීමට එහි විශ්වාසය සහ අරමුදල් ව්‍යුහය තිබිය යුතු බව ඔහු පැහැදිලි කරයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
 

මානසික සෞඛ්‍ය සහාය

ඔස්ට්‍රේලියානුවන්ට ලබා ගත හැකි Medicare සහන ලැබෙන මනෝවිද්‍යා සැසි 2023 වසරේදී 20 සිට පෙර පැවති ප්‍රමාණයට එනම් සැසි 10 දක්වා ගෙන එන බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියානුවන් 2021 දී සාමාන්‍යයෙන් Medicare සහන ලැබෙන මනෝවිද්‍යා සැසි පහක් භාවිතා කළ අතර පෙර ක්‍රමයේ දෝෂ ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර සියලුම ඔස්ට්‍රේලියානුවන්ට අමතර ඩිජිටල් මානසික සෞඛ්‍ය සේවා සපයන බව මධ්‍යම රජය සඳහන් කළේය.

Long COVID පර්යේෂණ

පාර්ලිමේන්තු විමර්ශනයක් සහ අඛණ්ඩ පර්යේෂණ අවසන් කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාව ලබන වසරේ Long COVID උපාය මාර්ගයක් නිකුත් කිරීමට අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, මධ්‍යම රජය දෙසැම්බර් 31 න් ඔබ්බට National Clinical Evidence Taskforce වෙත අරමුදල් සැපයීම නතර කර ඇත.

සාමාජික සංවිධාන 35කින් සමන්විත මෙම කාර්ය සාධක බලකාය, කොවිඩ් වසංගතය ආරම්භයේදීම ප්‍රතිකාර මාර්ගෝපදේශ සැපයීම සඳහා තාවකාලික උපදේශක ආයතනයක් ලෙස පිහිටුවන ලදී.

මධ්‍යම රජය ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සමඟ COVID රෝගීන් ඇතුළත් කිරීම් සඳහා 50:50 පිරිවැය බෙදා ගැනීමේ ගිවිසුම ද අවසන් කර ඇත.


Share
Published 2 January 2023 3:12pm
By Sahil Makkar, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends