කොරෝනා වසංගතය මුළු මහත් ලෝකයේම වෙසෙන ජනතාවගේ ජීවිත මුළුමනින්ම කණපිට පෙරළීමට සමත් වී තිබේ.
කොරෝනා වයිරසය, Lockdown නීති, පුද්ගල දුරස්ථභාවය, ස්වයං හුදකලාව වැනි දෑ හේතුවෙන් ලෝක වාසී ජනතාවට පෙර නොවූ විරූ අයුරින් වෙනස්ම ජීවිත අත්දැකීම් විඳීමට සිදු විය.
Lockdown නීති වලට මුහුණ දුන් රවටල වැසියන්ගෙන් බහුතරයකට ජීවිතයේ හුදකලා භාවයට මුහුණ දීමට මේ හරහා සිදු විය.
ඔස්ට්‍රේලියාවට ද මෙම කොරෝනා නීති සහ Lockdown නීති මේ වන විට අරුමයක් නොවෙයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
නමුත් එම Lockdown කාලය තුළදී බොහෝ පිරිස් තම හුදකලාව මකා ගැනීමට විවිධ ක්‍රියාකාරකම් වල නිරත වූ බව අපට අසන්නට ලැබුණි.
එහිදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවටම අවේනික ආහාර වර්ග පිළියෙළ කිරීමට උනන්දු වූ බව SBS සිංහල ගුවන් විදුලියට දැනගැනීමට ලැබුණි.
ලංකාවේ සිටින විට අත්තම්මාගෙන් ඉගෙන ගත්ත නැතිනම් කිරි අම්මාගෙන් ඉගෙන ගත්ත ලංකාවටම අවේනික විශේෂ කෑම වල කෑම වට්ටෝරු වල මතකය පසුගිය Lockdown කාලය තුළදී අලුගසා දමලා එළියට පැමිණි බව SBS සිංහල ගුවන් විදුලියට ආරංචි විය.
ලංකාවේ සුන්දර මතකයන් සමග අත්තම්මාගෙන් ඉගෙන ගත්ත කෑම, ඔස්ට්‍රේලියාවේ Lockdown කාලය තුළදී හදපු ආකාරය සහ එහිදී පැමිණි අභියෝග ගැන ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හතරක ලාංකික පවුල් හතරක් හෙළිකර සිටියේ පහත අයුරිනි.

Source: Facebook
හෝබාර්ට් නුවර ක්‍රිෂානි, පුංචි කාලේ අත්තම්මා ගෙන් හදන්න ඉගෙන ගත්ත බිබික්කම් Lockdown කාලයේදී හදපු කතාව
බිබික්කම් කියූ සැණින් බොහෝ අයගේ මනසට පැමිණෙන්නේ විකාරයක් වැනි අදහසකි.
මොන බිබික්කමක්ද? යන වදන්පෙළ බහුතරයක් ශ්‍රී ලාංකිකයින් අදත් භාවිතා කිරීම නිසා එසේ සිතීම සාමාන්‍ය දෙයකි.
නමුත් බිබික්කම් යනු ලංකාවේ ජන සමාජයේ බොහෝ කල් සිට පැමිණෙන ප්‍රනීත රස කැවිලි වර්ගයකි.
බිබික්කම් වලට වර්තමානයේ ඇතැම් ප්‍රදේශ වල පොල් කේක් යනුවෙන්ද කියයි.
පසුගිය Lockdown කාලය තුළදී ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් නුවර වෙසෙන ක්‍රිෂානි ප්‍රනාන්දුට තමන්ගේ අත්තම්මා තමන්ට කුඩා කාලයේ කියල දීපු බිබික්කම් හදන්නට සිත් වූවාය.
මෙතැන් පටන් දිගහැරෙන්නේ ලංකාවේදි අත්තම්මාගෙන් හදන්න ඉගෙන ගත්ත බිබික්කම් Lockdown කාලයේ හෝබාර්ට් නුවරදී ක්‍රිෂානි හදපු විදිය.
"මගේ අම්මගේ ගම මාතලේ රත්තොට, හරිම ලස්සන පළාතක්. නමුත් අපි ජීවත් වුණේ කෑගල්ලේ. පුංචි කාලේ හැමදාම ඉස්කෝලේ නිවාඩු කාලෙට අපි අම්මලාගේ ගමේ යනවා. එහෙ හිටියා අත්තම්මයි, සීයයි. අම්මගේ නංගි අපේ පුංචියි.
අවුරුද්දේ ලස්සනම නිවාඩු කාලේ එන්නේ සිංහල අලුත් අවුරුදු කාලේ. රත්තොට ගමම පුදුම ලස්සනක් තියෙන්නේ. රත්තොට කියන්නේ කොහොමත් කොළපාටින් බර වෙච්ච වන වදුළු තියෙන, මීදුම් රැළි ගලන කඳු පන්ති පේන, නිල් කැට වගේ වතුර පාරවල් ගලන ලස්සන ගමක්.
සිංහල අවුරුද්දට ඒ ලස්සන දෙගුණ තෙගුණ වෙන්නේ ගමේ කට්ටියම ගජරාමෙට අවුරුදු සමරන හින්දා.
කැවිලි පෙවිලි වර්ග වලින්, ජන ක්‍රීඩා වලින්, රබන් සුරල් වලින්, රතිඤ්ඤ සද්දෙන් මුළු ගමම පිරිලා.
අවුරුදු සතියට කලින් අපි කොහොමත් ගමේ යනවා. එතැනදී අපේ අත්තම්මා හදන විශේෂ කැවිලි වර්ගයක් තමයි බිබික්කම්.
ගමේ ගෙදර තිබ්බේ දර ලිප්. අද කාලේ වගේ ගෑස් ලිප් තිබුණේ නැහැ. අනික වරිච්චි ගහපු කුස්සිය තිබ්බේ ගෙදරින් පිටතට වෙන්න.
ඔය කුස්සියේ අත්තම්මා බිබික්කම් හදද්දී මම කොහේවත් යන්නේ නැතුව එතනට වෙලා බලාගෙන ඉන්නවා.
එහෙම ඉද්දි තමයි අත්තම්මා මට මේ කැවිලි වර්ගය හදන හැටි කියලා දුන්නේ."
ක්‍රිෂානි බිබික්කම් හැදීමට මුල් පාඩම උගත් ආකාරය SBS සිංහල ගුවන් විදුලියට ඒ අයුරින් විස්තර කළාය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
නමුත් රත්තොට ගමේ ගෙදර මෙන් නොව ඇයට හෝබාර්ට් නුවර බිබික්කම් හදන විට සුළු අභියෝග වලට මුහුණ දීමට සිදුවූ බව ක්‍රිෂානි අප සමග පැවසුවාය.
හෝබාර්ට් නුවරදී ක්‍රිෂානි බිබික්කම් හදපු විදිය අපට විස්තර කළේ මේ අයුරින්......
මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය ටික මේ විදියට සූදානම් කරගන්න:
- පාන් පිටි - ග්‍රෑම් 125
- ඇට ඉවත් කර කපාගත් රට ඉඳි - ග්‍රෑම් 250
- පොල් පැණි - මිලි ලීටර් 400
- වියළි මිදි - ග්‍රෑම් 50
- රුලං - ග්‍රෑම් 50
- ගාගත්ත පොල් (මමනම් ගත්තේ Frozen කරපු පොල්) - ග්‍රෑම් 350
- මාදුරු - තේ හැඳි කාලක්
- එනසාල් කරල් 4 ක ඇට
- දෙහි ගෙඩියක ලෙල්ල ග්‍රේට් කරලා ගන්න
- පොඩියට කපා ගත්ත කජු - ග්‍රෑම් 100
- දුඹුරු සීනි (Raw Sugar) - කෝප්ප කාලක්
- වැනිලා - තේ හැඳි 2
- ලුණු - තේ හැඳි කාලක්
- බේකින් පව්ඩර් - තේ හැන්දක්
- ආප්ප සෝඩා - තේ හැඳි කාලක්

Source: Supplied
- පාන් පිටි වලට බේකින් පව්ඩර් තේ හැන්දක් දමා ආප්ප සෝඩා තේ හැඳි කාලක් ඊට එකතු කරගන්න. ඉන් පසුව ඒවා හොඳින් මිශ්‍ර කර පෙනේරයකින් හලාගෙන එම පිටි ටික වෙනම තබන්න.
- මාදුරු ටිකයි එනසාල් ටිකයි පොඩි තාච්චියකට දාලා බැදගෙන කොටා ගන්න.
- ඊට පස්සේ රුලං ටිකත් මද ගින්දරේ යාන්තමට බැදගන්න.
- ඊට පස්සේ Cooking Pot එකක් අරගෙන එයට දුඹුරු සීනි ටිකයි පොල් පැණි ටිකයි දාලා උණු කරගන්න.
- පැණි ටික හොඳට උතුරන කොට පොල් ටික දාන්න.
- ඊට පස්සේ මද ගින්දරේ පොලුයි පැණියි හොඳට පොල් ටික මැලවෙනකන් මිශ්‍ර කරගන්න.
- මැලවුණු පැණි පොල් ටික ලිපෙන් බාලා වෙනත් භාජනයකට දමා ගන්න.
- මේ අතරේ Oven එක අංශක 175 ට රත් කරන්න දාන්න.
- ඒකට බැදලා කොටාගත්ත මාදුරු ටිකයි එනසාල් ටිකයි කපාගත් රට ඉඳි ටිකයි වියළි මිදි ටිකයි බැදගත්ත රුලං ටිකයි කජු ටිකයි ගාගත්ත දෙහි ලෙල්ලේ පොතු ටිකයි දාලා මිශ්‍ර කරගන්න.
- ඒ මිශ්‍රණයට වැනිලා තේ හැඳි 2 කයි පාන් පිටි ටිකයි දාලා හොඳට කලවම් කරගන්න.
- බේකින් පේපර්ස් layers දෙකක් දාලා බේකින් ට්‍රේ එක ලැස්ති කරගෙන අර මිශ්‍රණය ට්‍රේ එකට දාගන්න.
- ඊට පස්සේ ට්‍රේ එකේදී ඒ මිශ්‍රණය එක සමානව spread කරගෙන කජු බැයවල් කිහිපයක් ඊට උඩින් අතුරන්න.
- අංශක 175 ට රත් කරපු Oven එකට ට්‍රේ එක දාලා පැය භාගයක් තියලා ඊට පස්සේ උෂ්ණත්වය අංශක 150 ට අඩු කරලා තව පැය භාගයක් තියන්න.
- ඊට පස්සේ බිබික්කම් ට්‍රේ එක එළියට අරගෙන පැයක් විතර නිවෙන්න තියල තමයි කෑලි කපා ගන්න ඕන.
- ඒකාලේ අපේ ගමේ ගෙදර Oven එකක් පෝරණුවක් නැති නිසා ඉස්සර මේක අත්තම්මා හැදුවේ ලිපේමයි. ඒත් දැන් අපිට මේක Oven එකේම හදා ගන්න පුළුවන්.

බිබික්කම් හෙවත් වර්තමාන පොල් කේක් Source: Supplied
මෙල්බර්න් නුවර වත්සලා Lockdown කාලයේදී හැදූ ඉතිරි වුනු බත් වලින් හදන "පැණි අග්ගලා" වල රසවත් කතාවයි මේ
lockdown කාලයේදී කාර්යබහුල මේ ඕස්ට්‍රේලියානු දෛනික ජිවිත රටාවෙන් මිදී යම් විවේකයක් සහිතව කල්ගත කිරීමට ලැබුණු අවස්ථාව ට කැමති බව කියන මෙල්බර්න් නුවර වෙසෙන වත්සලා ගේ කතාවයි මීළඟට අපි කියන්න සුදානම් වෙන්නේ.
ඇය වත්සලා දසනායක ඉෂ්ඨවීර. ඇය ශ්‍රී ලංකාවේ මුතුහර රුපවාහිනී ළමා සමාජයේ මෙල්බර්න් නුවර ශාඛාවේ සම්බන්ධීකාරක වරිය ලෙසටත් කටයුතු කරන්නිය. වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown තත්වය අතරතුර ලැබුණු විවේකයේදී තම පවුල සමඟින් විවේකයෙන් ගත කිරීමට ලැබුණු අවස්ථාව අතරතුර ශ්‍රී ලාංකික ආවේනික කෑම වර්ග අත්හදා බැලීමටත් ඇය උනන්දු වුනු බවයි වත්සලා SBS සිංහල සේවයට පවසා සිටියේ. එසේ සාදන ලද ඇතැම් කෑම වර්ග සාදන විටදී ඇයට විශේෂයෙන් අත්තම්මා සමඟ ඇයට තිබෙන සුවිශේෂී මතක අවදි කිරීමට සමත්වුණු සාම්ප්‍රදායික ආහාර වර්ග කිහිපයක්ම ඇය අපහට සඳහන් කලා. ඉතිං ඒ අතරින් වත්සලා කැමතිවුනේ ඇත්තම්මා විසින් “ඉතිරි වුනු බත් වේලා හදන “පැණි අග්ගලා” සාදන අයුරු සහ ඒ සමඟ බැඳුනු ඇගේ පුංචි සංදියේ මතකය අවධි කිරීමටයි.
වත්සලා ඉපදුනේ කොළඹ. ඇය පවුලේ එකම දරුවා වුනු නිසා ඇයට සහෝදර සහෝදරියන්ගේ ඇසුර ලැබුනේ පාසල් නිවාඩුවට ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුවේ ප්‍රදේශයේ පිහිටි අත්තම්මගේ නිවසට ගිය පසුයි. ඒ අත්තම්මා සමඟින් විසූ වත්සලාගේ පුංචි අම්මාගේ දරුවන් සමඟින් කාලය ගත කිරීමට ලැබෙන නිසා බවයි ඇය අපහට පවසා සිටියේ.
ඉතිං පාසල් නිවාඩු කාලයේදී ඇගේ අත්තම්මා විසින් සාදා දෙන රසවත් කෑම ජාතිවල රස බැලීමටත්, අත්තම්මාගේ ආදරය නොඅඩුව ලැබුණු නිසාත්, ඥාති සොයුරු සොයුරියන් සමඟින් ඇති තරම් සෙල්ලම් කිරීමට ලැබෙන නිසාත් නිට්ටඹුවේ වෙල්යායවල් වටකොට තිබූ විශාල පොල්වත්තක් මධ්‍යයේ ඉදිව තිබුණු තම අත්තම්මාගේ නිවසට යාමට පාසල නිවාඩුව ලැබෙන තෙක් නොයිවසිලිවත්ව බලාසිටි බව වත්සලා අප සමඟ පැවසුවා.
පාසැල් නිවාඩුව අතරතුර තුන් වේලටම ඇති පදමට අත්තම්මා ගේ අතින් හැදෙන රසවත් කෑම ජාති තුන් වේලටම රසවිඳීමට ලැබුණු අයුරු සහ ඒවා පිසින තෙක් අත්තම්මා අසලට වී ඒ දෙස බලා සිටීමටත්, ප්‍රධාන කෑම වේල් තුනෙන් ඉතිරිවන ආහාර ඉවත නොදමා ඉන් රසවත් කෑම සදා ගන්නා ආකාරයත් සම්බන්දව අත්තම්මගේ උපදේශ අදටත් ඕස්ට්‍රේලියානු දේශයේ විසුවත් තමාට විශාල වශයෙන් උපකාරී වන බව වත්සලා අපහට පැවසුයේ හැඟුම් බරව. එසේ සදා දුන් අමතර රස කැවිලි අතර ඉතිරිවන බත් වේලා සදා දුන් අග්ගලා වලට ඇය තාමත් කැමතියි.
ඉතිං SBS සිංහල සේවයේ මෙවර අත්තම්මාගේ මතක සමඟින් කොරෝනා lockdown කාලයේදී හැදූ රසවත් කෑම අතරට අපි දැන් ගෙන එන්නේ මෙල්බර්න් නුවර වත්සලා දසනායක ගේ ආහාර වට්ටෝරුව "පැණි අග්ගලා" සාදන අයුරුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- අව්වේ වියළාගත් බත් කෝප්ප 1 1/2 න් ගන්නා පිටි කෝප්පයක්
- සිහින් වියළි පොල් කෝප්ප 1/2 ( ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික වෙළඳ සැල් වල පවතින ගාන ලද frozen පොල් හෝ desiccated පොල් යොදා ගත හැකියි )
- කිතුල් පැණි කෝප්ප 3/4
- එනසාල් ඇට පමණක් කුඩු කර තේ.හැ. 1/2 ක් පමණ (අවශ්‍ය නම් පමණක්)
- ලූණු ස්වල්පයක් (බත් පිසීමේදී ලුණු නොදමා තිබුණි නම් පමණක්)
- ගම්මිරිස් කුඩු තේ. හැ. 1

Source: Supplied
- ඕස්ට්‍රේලියාවේ විවිද ඍතු පවතින නිසා සෑම කාලයකදීම මෙසේ ඉතිරිවුනු බත් අව්වේ වේලාගැනීමට නොහැකියි. එයට පිලියමක් ලෙසට පිසගත් බත් ඔයිල් පේපර් එකක අතුරා ගෙදර අවන් එකේ අංශක 200 ට පමණ විනාඩි 20 ක් තියන්න.
- එසේ වේලාගත් බත් කබලේ දමා රන්වන් පාට වනතුරු බැද ගන්න (කබල වෙනුවට පෑන් එකක් පාවිච්චි කල හැකියි) ලංකාවේදී නම් මේවා ඉස්සර හැදුවේ වංගෙඩියක දමා කොටලයි. නමුත් දැන් බොහෝ දෙනා ග්‍රයින්ඩරයක දමා වේලා ගත් බත් කුඩු කර ගැනීම සිදුකරනවා. නමුත් මෙසේ කුඩුකර ගැනීම සිදුවිය යුත්තේ ඉතා සියුම් ලෙස නොවේ. තරමක කැට සහිත ස්වභාව සිටින පරිදියි. මෙසේ වේලාගත් බත් කෝප්පයකින් සාමාන්‍යයෙන් පිටි කෝප්ප 3/4 ක් වගේ ප්‍රමණයක් පිටි ලැබෙනවා.
- ඉඩ ඇති ඇතිළියක් හෝ වොක් එකක් ලිප තබා පැණි දමා රත් කරන්න. පැණි ටික පෙන දමද්දි ලිප නිවා පොල් ටික එකතු කරන්න. Desiccated පොල් ගතහොත් ඒවා වියළි නිසා බොහෝ වෙලාවක් තැබීම අවශ්‍ය නොවේ. හොඳින් කවලම් කර ලිප ඉතා අඩු ගින්දරේ විනාඩි 1/2 ක් පමණ මෙය රත් කරන්න.
- ලිප නිවා, එනසහල්, ගම්මිරිස් එකතු කර, කුඩු කර ගත් පිටි වලින් මේස හැඳි 2 ක් පමණ ඉතුරු කර ඉතුරු ටික පොල් පැණි එකට දමා ලී හැන්දෙන් කවලම් කර ගන්න.
- මේ මිශ්‍රණය තරමක් නිවෙන්නට හැර, අතින් කුඩා බෝල සාදා ඉතුරු කර ගත් පිටි වල තවරා පිළිගන්වන්න.
*පැණි රත් වෙන පදම වෙනස් වුවහොත් අග්ගලා ගල් විය හැකියි.
වත්සලා නිට්ටඹුව ගමේ අත්තමාගේ නිවසේදී මේ පැණි අග්ගලා රස විඳි ආකාරයත් මතක් කලා. දහවල් කෑමෙන් පසුව වත්තේ ඇති විශාල අලිපේර ගස යට පැදුරක් එලන අත්තම්මා වත්සලත්, අනෙක් ඥාති සහෝදර සහෝදරියන් තිදෙනාත් හිඳුවාගෙන කතන්දර සහ කවි ගායනය සිදුකරන බවත්, ඒවා අවසානයේදී සවස තේ වේලාව ලංවන විටදී අත්තම්මා තේ සමඟින් රැගෙන ආ රස කැවිලි අතර බොහෝ විට මෙම පැණි අග්ගලා තිබුණු බවත් ඇය සිහිපත් කලේ අත්තම්මා පිළිබඳව වුනු මහත් සෙනෙහසකින්.

Source: Supplied
අලිපේර ගසයට පැදුරේ වැඩිවී, වෙල්යාය පිසගෙන පොල්වත්තට ඇතුළුවන මඳ සුළං රැලිවල පහස විඳිමින් අත්තම්මා ගෙනා පැණි අග්ගලා සමඟින් තේ පානය කල හැටි අදටත් වත්සලා සිහිපත් කරන්නේ ඉතාම සතුටින්.
ඉතිං දැන් ඔබටත් පුළුවන් මෙල්බර්න් නුවරින් වත්සලා දසනායක ඔබ වෙත ඉදිරිපත් කල 'පැණි අග්ගලා' නිවසේදී අත්හදා බලන්න. ඔබගේ දෙමාපියන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඔබ සමඟ රැඳී සිටී නම් ඔවුන්වත් මෙයට එකතු කරගැනීම තුලින් දෙමාපියන් මේවා හැදීමේදී ඔවුන් සතු අත්දැකීම් ඔබට ලබාගැනීමට හැකිවනවා පමණක් නොව, ඔවුනගේ පාළුව කාන්සිය මැකීමටත් මෙය උපකාරී වේවි. එසේම වත්සලාගේ අත්තම්මා මෙන් ඔබගේ දරුවන්ටද ඔවුනගේ අත්තම්මා හෝ සීයා පිළිබඳව රසවත් මතකයන් සිත්වල ඉතිරි කිරීමටත් උපකාරී වේවි. ඒ විතරක් ද ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ ශ්‍රී ලාංකික පවුල් සෑම සිංහල අවුරුද්දකටම 'සිංහල අළුත් අවුරුදු මේසයක් ' හැකි පමණින් සුදානම් කිරීම සිදු කරන්නේ ඒ අත්දැකීම තම දරුවන්ටත් ලබාදීමට. එසේනම් ලබන වර සිංහල අළුත් අවුරුදු මේසයට ඔබගේ අතින්ම පිසූ "පැණි අග්ගලා" එකතු කරන්නටත් ඔබට හැකි වේවි.

පැණි අග්ගලා Source: Supplied
කැන්ද කොළ නැති නිසා බේකින් පේපර්ස් වලින් Lockdown කාලයේ කිරි අම්මාගෙ හැලප හදපු විදිය ගැන ඩාර්වින් නුවර ශාලිකා අපිට කියපු කතාව
"ඩාර්වින් වල කැන්ද කොළ නැති නිසා බේකින් පේපර්ස් තමයි පාවිච්චි කළේ. සමහර කට්ටිය මිදි කොළත් පාවිච්චි කරනවා කියලා මම අහලා තියෙනවා." පුංචි සන්ධියේ කිරි අම්මා හැලප හදනවා බලාගෙන ඉඳලා ඉගෙන ගත්ත හැලප පසුගිය Lockdown කාලයේ ඩාර්වින් නුවරදී හදපු විදිය ගැන ශාලිකා සේනානායක අපට විස්තර කරගන්නේ ගත්තේ ඒ විදියටයි.
ශාලිකාට හැලප හදන්න කියල දීලා තියෙන්නේ ශාලිකා ගේ කිරි අම්මා. කිරි අම්මා කියන්නේ ලංකවේ අත්තම්මට කියන තවත් නමක්.
ඒ අතීතේ ගැන ශාලිකා මතකය අවදි කරේ මේ විදියට...
"අපේ කිරි අම්මා හිටියේ කොටුගොඩ. සිංහල අවුරුද්දට විතරක් නෙමෙයි ගෙදර ඕනෑම විශේෂ අවස්ථාවකදී කිරි අම්මා හදන්නේ හැලප තමයි.
අපේ පවුලේ හැමෝමයි, ගමේ හැමෝමයි කිරි අම්මගේ හැලප කන්න හරිම ආසයි. පවුලේ මොනගෙදර මොන කෑම හැදුවත් හැලප හදන්නේ කිරි අම්මගේ අතින් විතරයි.
පොඩි කාලේ ඉතින් කිරි අම්මා හැලප හදන විදිය ඇන තියාගෙන ළඟ ඉඳගෙන මම බලන් හිටියා. හැම අවුරුද්දකම ඒක මට පුරුද්දක් වුණා.
ඒ හින්දා අන්තිමේ හැලප හදන්න මටත් හොඳට පුරුදු වුණා." යනුවෙන් ශාලිකා SBS සිංහල ගුවන් විදුලියට ඩාර්වින් නුවරදී හැලප හදපු අයුරු විස්තර කළාය.
අවශ්‍ය ද්‍රව්‍ය

Source: Supplied
- කුරක්කන් පිටි - කප් එකක්
- ගාගත්ත වියළි පොල් - කප් එකක්
- කිතුල් පැණි - කප් බාගයයි
- ලුණු - පදමට
- කැන්ද කොළ වෙනුවට ඒ හැඩේට කපා ගත්ත බේකින් පේපර්ස්

Source: Supplied
- ලිප on කරලා සාමාන්‍ය ගින්දරේ Cooking pot එකක් තියලා රත් වුණාට පස්සේ පොල් ටික දාලා ඒකට පැණි ටික ටික දදා මිශ්‍ර කරගන්න.
- ඒ මිශ්‍රණයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා කුරක්කන් පිටි ටිකත් ටික ටික දදා කලවම් කරගන්න.
- ඒ මිශ්‍රණයට උණු වතුර ස්වල්පයක් එකතු කරලා පිටි මෝලියක් (dough එකක්) එන විදියට හොඳට මිශ්‍ර කරගන්නවා.
- මෙහිදී අතේ ඇලෙන්නේ නැති ගානට මිශ්‍ර කරගත යුතුයි.
- ඉන් පසුව මිශ්‍රණය ලිපෙන් බාලා ගොඩක් වෙලා තියන්නේ නැතිව ඒ මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණයට බෝල හදාගන්නවා.
- ඒ හදාගත්ත බෝල කපා ගත්ත බේකින් පේපර්ස් වලට spread කරලා හැලප වගේ හදාගෙන නවා ගන්න. මෙතැනදී ස්ප්රෙඅද් කරගන්න අපහසුනම් Butter ටිකක් පාවිච්චි කරන්න.
- ඒ අතරේ Steamer එක ලිපේ තියලා වතුර උතුරලා හුමාලය පිටවෙනකොට නවා ගත්ත හැලප ටික Steamer එකට දාලා වහන්න.
- විනාඩි 5 ක් හැලප වල එක පැත්තකුත් අනෙක් පැත්ත තවත් විනාඩි 5 කුත් යන විදියට steam කරගන්න.
- ඊට පස්සේ හැලප ටික ලිපෙන් බාගන්න.

කැන්ද කොළ නැතුව බේකින් පේපර්ස් වලින් හදපු හැලප Source: Supplied
ආචිචි අම්මගෙන් ඉගෙන ගත්ත කොණ්ඩ කැවුම්, කප් කේක් අච්චුවකින් ඇඩිලේඩ් නුවර Lockdown කාලයේදී හදපු චමරිගේ කතාව
සිංහල අවුරුදු කාලේ කිරිබත් වලට පස්සේ අවුරුදු මේසේ රජ කරන්නේ කොණ්ඩ කැවුම්. ඒ නිසා කොණ්ඩ කැවුම් වලට අවුරුදු කෑම මේසේ යුව රජ්ජුරුවෝ කියලා දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වල කියනවා.
Lockdown කාලයේ ඇඩිලේඩ් නුවරදී චමරි එරංගිකා කොණ්ඩ කැවුම් හදපු විදිය තමයි දැන් අපි විස්තර කරන්න යන්නේ. ලංකවේ සිටින විට ආචිචි අම්මගෙන් තමයි චමරි කොණ්ඩ කැවුම් හදන්න ඉගෙන ගෙන තියෙන්නේ.
චමරි ගේ ගම බත්තරමුල්ල. චමරි 7 වසරේ ඉද්දි චමරිගේ තාත්තා මෙලොවින් සමු අරගෙන තියෙනවා.
තාත්තගේ හැම දානෙකටම කැවිලි හදන්නේ චමරිගේ ආචිචි අම්ම. ඒ අතරින් කොණ්ඩ කැවුම් වලට ප්‍රමුඛස්ථානයක් හිමි වෙලා තියෙනවා.
චමරිත් කුඩා කාලේ ඉඳලම ආචිචි අම්ම කොණ්ඩ කැවුම් හදන විදිය හැම අවුරුද්දකම හොඳට බලාගෙන ඉගෙන ගෙන තියෙනවා.
එහෙම හදන්න ඉගෙන ගත්ත කොණ්ඩ කැවුම් ඇඩිලේඩ් නුවරදී ආපහු හදපු විදිය චමරි SBS සිංහල ගුවන් විදුලියට විස්තර කළේ මේ ආකාරයට.
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි - ග්‍රෑම් 250
- පාන් පිටි - ග්‍රෑම් 100
- කිතුල් පැණි - කාලක්
- සීනි - ග්‍රෑම් 200 ක් විතර
- ලුණු - පදමට
- එනසාල් - කරල් 3 ක්
- මාදුරු - තේ හැඳි බාගයක්

Source: Supplied
- භාජනයක් අරගෙන පැණි ටිකට සීනියි මාදුරුයි, එනසාලුයි ලුණුයි එකතු කරගන්න.
- ඊට පස්සේ ඒකට හාල් පිටි ටික දාලා හොඳට අතින් මිශ්‍ර කරගන්න.
- හාල් පිටි දිය වුණාට පස්සේ පාන් පිටි ටික දාලා දිය කරගන්න. පාන් පිටි වල තියෙන කැට ගතිය යනකන් හොඳට දිය කරගන්න ඕනේ.
- කැවුම් මිශ්‍රණය අතින් ඇල්ලුවම වැක් කෙරෙන ගැන වෙනකම් හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අවශ්‍යනම් වතුර ටිකක් එකතු කරගන්නත් පුළුවන්.
- පදම හරි ගියාම තාච්චියකට තෙල් ටිකක් දාලා ලිපේ තියන්න.
- කැවුම් හදන්න නම් තෙල් හොඳට රත් වෙනකන් ඉන්න ඕනේ.
- ඊට පස්සේ කැවුම් අච්චුව තෙලට දාලා ඒක රත් වෙන්න තියලා ඊට පස්සේ අච්චුවට මිශ්‍රණයෙන් හැන්දක් දාන්න.
- කැවුම හැදී ගෙන එනකොට කොන්ඩේ ගන්න ඕනේ. ඒක තමයි අමාරුම වැඩේ.
- ආච්චි අම්ම මට එකට පොඩි tip එකක් කියල දුන්නා. ඒ තමයි කැවුම් හදන කූරට කැවුම් පිටි මිශ්‍රණයෙන් ටිකක් අරගෙන කැවුමේ කොන්ඩේ ගන්න තැනට මාත්තු කර කර උඩට ගන්න කියලා.
- එහෙම කරනකොට වැඩේ ලේසියි.
- ඔය ආකාරයට කැවුම් ටික බැදගන්න.

කොණ්ඩ කැවුම් Source: Supplied
ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයෝ තවත් බොහෝ පිරිසක් නිවසටම කොටුවී සිටි Lockdown සමයේ ශ්‍රී ලංකාවේ සොඳුරු මතකයන් ස්මරණය කරමින් මේ ආකාරයෙන් අත්තම්මා ගෙන් ඉගෙන ගත් ආහාර පාන පිළියෙළ කරන්නට ඇති කියා විශ්වාස කරයි.
මව් රටේ සුන්දර මතකයන් සමග රස නහර පිනා යන අපේම කෑම ගැන මතකය අවධි කළ මේ කතා වලට අදට අපි සමු දෙන්නෙමු.
ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය පිළිබඳ නවතම තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීමට වෙබ් අඩවියේ සිංහල භාෂා කොටස වෙත පිවිසෙන්න.

Source: SBS Sinhala