Key Points
- දැනට පවතින සියලුම එන්නත් වල යම් කාර්යක්ෂමතාවයක් ඇතැයි ආචාර්ය Norelle Sherry පවසයි.
- ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් සහ වෙනත් කණ්ඩායම් විසින් විවිධ කොවිඩ් ප්‍රභේදයන් සඳහා ප්‍රතිරෝධී වන එන්නතක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටී.
- ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියනයකට COVID-19 මරණ අනුපාතය සැලකිය යුතු ඉහළ අගයක් වේ.
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණය 2021 පෙබරවාරි 22 වන දින ආරම්භ කරන ලද අතර මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් 2021 නොවැම්බර් 8 වන දින පළමු කොවිඩ් බූස්ටර් එන්නත ජනතාවට ලබා දීමට කටයුතු කළ අතර ඉන් මාස කිහිපයකට පසුව තවත් එන්නත් මාත්‍රාවක් ද ලබා දීමට කටයුතු කරන ලදී.
නමුත් ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණයේදී ප්‍රාථමික එන්නත් මාත්‍රා දෙක ලබා ගැනීමෙන් පසුව සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන් අතර කොවුඩ් බූස්ටර මාත්‍රාව සඳහා ඇති ඉල්ලුම අඩු මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත මගින් පෙන්වා දෙනු ලබයි.
ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 56.6ක් තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති අතර, වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 35.2ක් 2023 පෙබරවාරි 10 වන දිම විට සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාවද ලබා ගෙන ඇත.
පසුගිය මාස හය තුළ දී කොවිඩ් ආසාදනය නොවූ හෝ කොවිඩ් එන්නතක් ලබා නොගත් වැඩිහිටියන් සඳහා අමතර කොවිඩ් බූස්ටර් එන්නතක් ලබා දීමට දැන් ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් මිලියන 14ක් මෙම අමතර කොවිඩ් බූස්ටර මාත්‍රාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත.
නිතරම වෙනස් වන මෙම කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් ලබා ගැනීම ඵලදායීද?
COVID වෛරසය 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයේ දී ප්‍රථම වරට අනාවරණය වූ දා සිට නැවත නැවත වෙනස් වී තිබේ.
මෙම කොවිඩ් වෛරසයේ Alpha, Beta, Gamma සහ Delta යන ප්‍රභේද ඇති අතර එහි Omicron නම් ප්‍රභේදය සහ Omicron හි උප ප්‍රභේද ඔස්ට්‍රේලියාවේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතු වූ බව විශ්වාස කෙරේ.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ Our world in data යන දත්ත මගින් පෙන්නුම් කරන්නේ පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියනයකට සමුච්චිත COVID-19 මරණ අනුපාතය 557 ක් වන අතර එය ඇමරිකාවට වඩා (585) වඩා තරමක් අඩු වන බවයි.
නමුත් එය සිංගප්පූරුව (149), කැනඩාව (407), ජපානය (408) සහ එක්සත් රාජධානියේ (448) ජනගහනය මිලියනයකට සමුච්චිත COVID-19 මරණ අනුපාතයට වඩා බෙහෙවින් වැඩි වේ.
Clinical Microbiologist & Infectious Diseases Physician Dr Norelle Sherry. Credit: Doherty Institute
"නමුත් මෙම ඕනෑම එන්නතක් ලබා ගැනීම එන්නත් ලබා නොගෙන සිටීමට වඩා ඉතා හොඳයි," යනුවෙන් ආචාර්ය ෂෙරී SBS මාධ්‍ය වෙත පැවසීය.
එන්නත් කිසිවිටෙකත් කොවිඩ් සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට නිර්මාණය කර නැත.නමුත් එමගින් පුද්ගලයින් නිසැකවම දරුණු ලෙස රෝගාතුර වීමෙන් ආරක්ෂා කරන අතර, රෝහල්ගත වීම් අවම කිරීමට ද හේතු වේ.
Omicron booster මුල් කොවිඩ් එන්නත් වලට වඩා වැඩි ප්‍රතිශක්තියක් ලබා දීමට ඉඩ ඇති බවද ආචාර්ය ෂෙරී වැඩිදුරටත් පැවසීය.
පළමු පෙලේ එන්නත් හෝ ප්‍රෝටීන් පාදක එන්නත් ලබා ගැනීමට වඩා යාවත්කාලීන කරන ලද mRNA එන්නත් ලබා ගැනීම කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන ලෙස ඔස්ට්‍රේලියාව සිය ජනතාවට උපදෙස් ලබා දෙයි.
වැඩිහිටියන්ට BA.4/5 ප්‍රභේද සහ BA.1 මුල් ප්‍රභේද ඉලක්ක කරන Pfizer's bivalent එන්නත් දෙක තෝරාගත හැකිය.
ඔවුන්ට BA.1 මුල් ප්‍රභේද ඉලක්ක කරන Moderna's bivalent එන්නත ද සිය බූස්ටර් එන්නත ලෙස තෝරාගත හැක.
Pfizer bivalent BA.4/5 එන්නත ලබා ගත් වයස අවුරුදු 55 ට අඩු වැඩිහිටියන් Pfizer මුල් එන්නත ලබා ගත් අයට වඩා BA.4/5 Omicron උප ප්‍රභේදයට ඉහළ ප්‍රතිශක්තියක් දක්වන ප්‍රතිදේහ නිපදවා ඇති බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම Pfizer bivalent BA.4/5 එන්නත මගින් නව BQ.1.1 සහ XBB.1 උප ප්‍රභේද උදාසීන කිරීම ද මුල් එන්නතට වඩා වැඩි වශයෙන් සිදු වූ බවද විය ATAGI තවදුරටත් කියා සිටී.
ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමක ආයතනය වන Therapeutic Goods Administration විසින් දැනට පවතින Moderna's BA.4/5 booster එන්නත ඇගයීමට ලක් කරයි.
ඔස්ට්‍රේලියාවේ වත්මන් කොවිඩ් ආරක්ෂණ ප්‍රතිපත්තියේ මූලික අරමුණ නම්, වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීමත් එන්නත්කරණය කොවිඩ් ආරක්ෂණ යන්ත්‍රණයේ ප්‍රධාන අවිය ලෙස පවත්වා ගැනීමත් වන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී මෑතකදී පැවසුවේය.
උදාහරණයක් ලෙස, එක්සත් රාජධානියේ කොවිඩ් ආරක්ෂණ ආකෘතියට අනුව වයස අවුරුදු 70 ට වැඩි ඕනෑම අයෙකු රෝහල්ගතවීම නැවැත්වීමට 800 දෙනෙකුට එන්නත් කළ යුතු බව පෙන්නුම් කරයි.
ඒ හා සැසදීමේදී, ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 40 සිට 49 දක්වා, 92,000 දෙනෙකුට එන්නත් කළ යුතු වන බව මහාචාර්ය කෙලී පෙන්වා දෙයි.
"ඔබ තරුණ අය දෙස බැලුවහොත්, සෑම වසරකම එම බලපෑම ලබා ගැනීම සඳහා ඊට වඩා තරුණ අය කොවිඩ් එන්නත ලබා ගැනීම වැඩි කළ යුතුය."
අපට ඉදිරියේදීත් කොවිඩ් බූස්ටර් එන්නත් ලබා ගැනීමට අවශ්‍ය වේවිද?
මින් පෙර ATAGI පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා හෝ උණ සඳහා ලබා ගන්නා එන්නත් වැනි සාමාන්‍ය එන්නත් මාත්‍රාවන් දරුණු ලෙස රෝගාතුර වීම සඳහා ඉහළම අවදානමක් ඇති අය සඳහා කොවිඩ් රෝගය වෙනුවෙන් ලබා ගත යුතු බවයි.
“විචල්‍ය නොවන COVID-19 එන්නතක හදිසි අවශ්‍යතාවයක්” පවතින බව Garvan වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මහාචාර්ය Chris Goodnow පෙන්වා දෙයි.
Garvan වෛද්‍ය පර්යේෂණ ආයතනය UNSW RNA ආයතනය සහ Kirby ආයතනය සමඟ එකතු වී සාර්වත්‍ර mRNA COVID-19 එන්නතක් නිපදවීම සඳහා උත්සාහ කරන අතර එමඟින් නව ප්‍රභේදයක් මතුවන සෑම අවස්ථාවකම බූස්ටරයක් යාවත්කාලීන කිරීමට ඇති අවශ්‍යතාවය අවසන් කළ හැකිය.
ප්‍රතිවෛරස ඖෂධ වල බලපෑම
ප්‍රතිවෛරස් ඖෂධ පෙති "game changer" ලෙසට විස්තර කර තිබේ.
නමුත් පසුගිය වසරේ කොවිඩ් සඳහා ප්‍රතිකාර ලෙස මෙම ප්‍රතිවෛරස ප්‍රතිකාර හඳුන්වා දුන්නත් ඔස්ට්‍රේලියාවේ වයස්ගත සත්කාරක මධ්‍යස්ථාන වල පදිංචි වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් 800 ක් ඇතුළුව ඔස්ට්‍රේලියානුවන් 2,600 කට වඩා වැඩි ප්‍රමාණයක් කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් තිබේ.
කෙසේ වෙතත්, ආචාර්ය ෂෙරී විසින් තවමත් ප්‍රති වෛරස ඖෂධ "දෛවය වෙනස් කරන්නෙකු" ලෙස හඳුන්වනු ලබයි.
ප්‍රති වෛරස ඖෂධ කොවිඩ් රෝගය සඳහා ඵලදායී වීමට නම්, රෝග ලක්ෂණ ආරම්භයේ සිට හැකි ඉක්මනින් ප්‍රතිවෛරස් ඖෂධ ලබාගත යුතු වේ.
ආචාර්ය ෂෙරී පැවසුවේ අවදානම් කණ්ඩායම්වල සිටින පුද්ගලයින් කොවිඩ් සඳහා පරීක්‍ෂා කිරීම පිළිබඳව වඩාත් අවධානයෙන් සිටීම සහ ප්‍රතිවෛරස් ඖෂධ ගැන කලින්ම ඔවුන්ගේ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවයි.
දෙවන පෙළ ප්‍රතිවෛරස් ප්‍රතිකාර
ලොව පුරා සිටින විද්‍යාඥයින් සහ ඖෂධ සමාගම් විසින් වත්මන් ප්‍රතිවෛරස ප්‍රතිකාර වල අඩුපාඩු වලට එරෙහිව සටන් කිරීම සඳහා දෙවන පරම්පරාවේ ප්‍රතිවෛරස් නිපදවීමට උත්සාහ කරමින් සිටී.
Pfizer සමාගම දෙවන පරම්පරාවේ ප්‍රතිවෛරසයක් නිපදවීම සඳහා ක්‍රියාත්මක වන අතර චීන සමාගම් ප්‍රාථමික අධ්‍යයනයන් සමඟ VV116 නම් ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් නිපදවීමට ක්‍රියාත්මක වේ.
ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් ප්‍රතිවෛරස් ඖෂධ ලෙස කෘතිම ප්‍රතිදේහ නිපදවීමට උත්සාහ කරමින් සිටී. ඔවුන් මේ වසරේ සායනික අත්හදා බැලීම් දියත් කිරීමට ද අපේක්ෂා කරයි.
ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහුභාෂා ප්‍රජාවන්ට COVID-19 සම්බන්ධ සියලුම තොරතුරු යාවත්කාලීන කර සැපයීමට SBS මාධ්‍ය ආයතනය කැපවී සිටී. වෙත නිතර පිවිසෙමින් ඔබේ භාෂාවෙන් නවතම කොවිඩ් තොරතුරු පිළිබඳව දැනුවත් වෙමින් ආරක්ෂිතව සිටින්න.