ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීමේදී යෝජිත පනත් කෙටුම්පතට විපක්ෂය එක හෙලා විරුද්ධ වෙයි. (SBS සිංහල/වාර්තා)

අයදුම්කරුවන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදුන්නේ ඇයි දැයි Tony Burke ප්‍රශ්න කරයි.

Australian Citizenship changes

Source: SBS

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීමේදී දැනට පවතින ක්‍රමවේදය වෙනස් කිරීමට ටර්න්බුල් රජය පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අද (20/06) දින කම්කරු පක්ෂය තම විරෝධය පළ කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාදීමේ නව යෝජිත ක්‍රමවේදය මේ වන විට දේශපාලන පොරයක් බවට පත්වී ඇත.

මෙම නව යෝජනාවලින් සිදුවන්නේ මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට සංක්‍රමණිකයන් හට තව තවත් අසීරු වීම බව කම්කරු පක්ෂය පෙන්වා දෙයි.

නමුත් මෙම යෝජිත නව ක්‍රමවේදය මගින් ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවට පිටිවහලක් ලැබෙන බව අගමැති මැල්කම් ටර්න්බුල් අපේක්ෂා කරයි.

යෝජිත නව ක්‍රමවේදයට අනුව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කරනු ලබන සංක්‍රමණිකයන් ඉංග්‍රීසි පරීක්ෂණයකට මුහුණ දිය යුතු වන අතර අද දිනයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය ඊට එක හෙලාම විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට පෙරාතුව වසරක කාලයක් පමණක් ස්ථිර පදිංචිකරුවෙකු බවට පත්ව සිටීමේ අවශ්‍යතාව මෙම නව ක්‍රමවේදය යටතේ වසර 4 ක් දක්වා දීර්ඝ කිරීමට ද ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ නව පරීක්ෂණයක් හඳුන්වා දීමට මෙන්ම ගැඹුරු ලෙස අදාළ පුද්ගලයාගේ කල් ක්‍රියාව පිළිබඳ සොයා බැලීමක්ද සිදු කිරීමට ද රජය යෝජනා කරයි.

වැඩි කෑදර බව නිසා විශාල වැරද්දක් සිදු කරගැනීමක් ලෙස කම්කරු පක්ෂය මෙය හඳුන්වා දී තිබේ.

“කවදාවත් ඔස්ට්‍රේලියාව නොගතයුතු ආකාරයේ ඇතැම් පියවරයන් ඔවුන් අරන් තියෙනවා. එය රටක් විදියට නොගැලපෙන දෙයක්” ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ මන්ත්‍රී Tony Burke කැන්බරා නුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
මෙම යෝජිත ක්‍රමවේදය මගින් ජාතික ආරක්ෂාවට කිසිදු පිටිවහලක් නොලැබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

එම අයදුම්කරුවන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදුන්නේ ඇයි දැයි  Tony Burke ප්‍රශ්න කරයි.

Tony Burke ගේ එම ප්‍රකාශයට අගමැතිවරයා විස්මයට පත්විය.

“ජාතික ආරක්ෂාවේ පදනම වන්නේ සමාජයක සාමයයි, සංහිඳියාවයි, එකිනෙකාට ගරු කිරීමයි” අගමැතිවරයා පැවසීය.

මේ අතර මෙම යෝජනාව සෙනට් මණ්ඩලයෙන් සම්මත කරගැනීමට රජයට හැකිවෙනු ඇතැයි ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

කම්කරු පක්ෂය අවසානයේදී මේ සඳහා සිය කැමැත්ත දෙනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: AAP, SBS News


Share this with family and friends