ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය පතන ශ්‍රී ලාංකික දමිළ පවුලට ඇමරිකාවේ සහ නවසීලන්තයේ රැකවරණත් අහිමි වෙයි (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සරණාගත රැකවරණය පතන දමිල පවුලේ තුන් හැවිරිදි දැරියට මේ වනවිට රුධිර අසාදන තත්වයක් මතුව ඇති අතර, නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම මත ඇයට එම තත්වය මතුව ඇතැයි සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.

From left: Nades Murugappan, Kopika, Priya,and Tharnicaa.

From left: Nades Murugappan, Kopika, Priya,and Tharnicaa. Source: Supplied

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික දමිළ පවුල මේ වන විට Christmas දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියි.

නඩේස් (පියා), ප්‍රියා මුරුගප්පන් (මව), කොපිකා (5) සහ තර්නිකා (3) යන මෙම පවුලේ සාමාජිකයින් 2019 වසරේදී Christmas දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ඒමට පෙර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයේ කුඩා නගරයක් වන Biloela හි වාසය කලෝය.


Highlights

  • Christmas දූපතේ රඳවා සිටින මෙම දමිළ පවුල හට ඇමරිකා එක්සත් ජනපදයේ හෝ නවසීලන්තයේ පදිංචිය සඳහා අවසර නොමැති වීම
  • රුධිර ආසාදනයක් නිසා තර්නිකා පර්ත් ළමා රෝහලට 
  • දමිළ පවුල ගැන නැවත සලකා බැලීමට ආගමන අමාත්‍ය Alex Hawke පියවර ගැනීම 
  • මෙම පවුලට ආරක්ෂාව දීමට ඔස්ට්‍රේලියාව බැඳී නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පැවසීම 
  • තර්නිකාට ප්‍රතිකාර නොකළ බවට මවගෙන් චෝදනා එල්ල වීම 
  • LTTE ය සමග සබඳතා ඇතැයි කියන නඩේස් ගේ ලංකාවේ ඉතිහාසය 

Christmas දූපතේ රඳවා සිටින මෙම දමිළ පවුල හට ඇමරිකා එක්සත් ජනපදයේ හෝ නවසීලන්තයේ පදිංචිය සඳහා අවසර නොමැති වීම

Christmas දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින මෙම දමිළ පවුල හට ඔස්ට්‍රේලියානු සරණාගත නීතීන්ට අනුව "සරණාගත තත්වයක් (refugee status)" නොමැතිවීම මත ඇමරිකා එක්සත් ජනපදයේ හෝ නවසීලන්තයේ පදිංචිය සඳහා අවසර ලබා නොගත හැකි බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන Karen Andrews පවසයි.

මෙම දමිල පවුලට ඇමරිකා එක්සත් ජනපදයේ සහ නවසීලන්තයේ පදිංචිය ලබාදීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජයේ සහභාගීත්වයෙන් වැඩසටහනක් සිදු කලද ඒ සඳහා මොවුනට ප්‍රවේශ විය නොහැකි බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

අමාත්‍යවරිය 4BC රේඩියෝව වෙත සඳහන් කොට ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය අතර සරණාගතයින් සඳහා විදිවිධාන පවතින නමුත් මෙම පවුල සම්බන්ධයෙන් ගත් කල ඔවුනට සරණාගත තත්වයක් (refugee status) නොපැවතීම මත ඒ සඳහා ප්‍රවේශ විය නොහැකි බවයි.

මෙම දමිල පවුල හදිසි අධිකරණ නියෝගයක් හේතුවෙන් 2019 වසරේ සිට Christmas දූපතේ රඳවා සිටී.

රුධිර ආසාදනයක් නිසා තර්නිකා පර්ත් ළමා රෝහලට

මෙම පවුලේ තුන් හැවිරිදි දැරිය වන තර්නිකා හට හදිසියේ ඇතිවූ උණ සහ වමනය තත්වයක් හේතුවෙන් දින 10කට පසු , පසුගිය සඳුදා (7/6)  හදිසියේ පර්ත් හි ළමා රෝහල වෙත රැගෙන ගිය අතර එත් සමගම මෙම පවුල සම්බන්ධයෙන් වන අවධානය නැවතත් මතුවිය.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


පසුව හඳුනාගත් පරිදි ඇයට රුධිර ආසාදනයක් සඳහා ප්‍රතිකාර කල අතර ඇයට පැවති නිව්මෝනියා තත්වයකට නිසි ප්‍රතිකාර ලබා නොදීම මත මෙය සිදුව ඇති බව ඔවුන්ගේ අධාරකරුවන් පවසයි.

මේ වනවිට තුන් හැවිරිදි දැරිය සමග ඇයගේ මව වන ප්‍රියා මුරුගප්පන් රෝහලේ සිටින අතර ඇයගේ පියා සහ නැගණිය Christmas දූපතේ සිටින බව වාර්තා වේ.

පසුගියදා මෙම පවුලේ තත්වය සම්බන්ධයන් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සඳහන් කොට සිටියේ මොවුන් නැවත පදිංචි කිරීම සඳහා විකල්පයන් පිළිබඳව සලකා බලමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය වන Marise Payne, 2GB සේවය වෙත සඳහන් කොට සිටියේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පවසන පරිදි මොවුන් හට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය හෝ නවසීලන්තය විකල්ප දෙකක් වශයෙන් සලකා බැලෙන බවයි.  

එමෙන්ම මේ වනවිට සරණාගතයින් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය නවසීලන්තය සමග සාකච්චා සිදු කරන අතර සමස්තයක් ලෙස සරණාගතයින් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇමරිකාව සමග එකඟතාවන් වලට පැමිණ තිබේ. 

ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා සුදුසුකම් නොමැති සහ ඉඩ ලබාදිය නොහැකි බොහෝ පිරිසක් සමග කටයුතු කරන බව මීට දින දෙකකට ඉහතදී ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන Karen Andrews සඳහන් කල අතර, එම ප්‍රකාශය මෙම දමිල පවුල සම්බන්ධයෙන් නොව ඔස්ට්‍රේලියාවේ සමස්ත සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශයක් බව Karen අවධාරණය කොට තිබේ.
Minister for Home Affairs Karen Andrews at Parliament House in Canberra, 6 April.
Minister for Home Affairs Karen Andrews at Parliament House in Canberra, 6 April. Source: AAP

දමිළ පවුල ගැන නැවත සලකා බැලීමට ආගමන අමාත්‍ය Alex Hawke පියවර ගනී

මේ අතර ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය Alex Hawke මෙම දමිල පවුල සම්බන්ධයෙන් වන වාර්තාව පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම අරඹා ඇති අතර එමගින් මෙම පවුලට ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටිය හැකිද යන්න සම්බන්ධයෙන් තීරණය වේ. ඒ අනුව ඔවුනට ඕස්ට්‍රේලියාවේ වෙනත් වීසා කාණ්ඩයක් සඳහා අයදුම් කිරීමට හැකියාව හිමිවන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කෙරේ.

මෙම පවුල, ඔස්ට්‍රේලියානු දේශපාලන රැකවරණය (Australia's protection obligations) සඳහා සුදුසුකම් නොමැති බවට මීට පෙර ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හඳුනාගත් අතර ඒ හේතුවෙන් මෙම පවුලට ඔස්ට්‍රේලියාව තුල වෙනත් වීසා අයදුම් කිරීම සඳහා සීමා පනවා තිබේ.

මෙම පවුලට ආරක්ෂාව දීමට ඔස්ට්‍රේලියාව බැඳී නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පවසයි.

එමෙන්ම මෙම දමිල පවුල සඳහා "ඔස්ට්‍රේලියාව තුල ආරක්ෂාවක් ලබාදීම සිදු නොකරන" බවට වන නඩු තීන්දුවද ලබාදී ඇති අතර එමගින් මොවුන් හට සරණාගත තත්වයක් (refugee status) නොපවතින බවට අර්ථ දැක්වෙන බව Karen Andrews පෙන්වා දෙයි. ඇය සඳහන් කොට සිටින්නේ මේ හේතුවෙන් ඔවුනට ආරක්ෂාව සැපයීමට ඔස්ට්‍රේලියාව බැඳී නොමැති අතර ඔවුන් නැවතත් සිය මව් රට වන ශ්‍රී ලංකාවට යායුතු බවයි.
Tharnicaa (right) in hospital on Christmas Island with her sister, Kopika, before being medically evacuated to Australia.
Tharnicaa (right) in hospital on Christmas Island with her sister, Kopika, before being medically evacuated to Australia. Source: Supplied
මේ වනවිට පවතින තත්වය අනුව එම පවුලේ තුන් හැවිරිදි දැරිය වන තර්නිකා හට ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා ඉල්ලුම් කල හැකිද යන්න සම්බන්ධයෙන් අවධානයක් යොමු වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂණ වීසා සඳහා අයදුම් කලද තර්නිකා හට සාධාරණත්වයක් නොවූ බව බවට කලින් දුන් තීන්දුවක් මධ්‍යම අධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ල විසින් පිළිගනු ලැබීය.

එමන්ම මේ වනවිට තර්නිකා සුවය ලබමින් සිටින අතර ඇයගේ සෞඛ්‍ය තත්වය ප්‍රධාන වන බව Karen Andrews පවසයි.

තර්නිකාට ප්‍රතිකාර නොකළ බවට මවගෙන් චෝදනා

තර්නිකා අසනීප වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කිහිප වරක් අදාළ නිලධාරීන් දැනුවත් කලද ඔවුන් වේදනා නාශක ඖෂධ ලබාදීම පමණක් කල බව ඇයගේ මව වන ප්‍රියා පවසයි.

කෙසේ නමුත් මෙම දැරියට අදාළ ඖෂධ ලබාදීමට කටයුතු කල බව රැඳවියන් සඳහා සෞඛ්‍ය සේවා සපයන International Health and Medical Services ආයතනය පවසයි.

එමෙන්ම ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවද, තම රැකවරණය යටතේ සිටින රැඳවියන් හට නොසලකා හැරීම සම්බන්ධයෙන් වන එම චෝදනාව ප්‍රතික්ෂේප කොට තිබේ.

Christmas දූපතේ රඳවා සිටියදී තර්නිකා සම්බන්ධයෙන් දෛනිකව නිසි පරීක්ෂා කිරීම සිදු කල බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු සඳහන් කරයි.

LTTE ය සමග සබඳතා ඇතැයි කියන නඩේස් ගේ ලංකාවේ ඉතිහාසය

Simon Jeans ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිලිබඳ නිලධාරියකු වන අතර ඔහු ඔස්ට්‍රේලියාවේ සිටි ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරුන් 10 දෙනෙකු සේවය කල කාලය තුල සිය රැකියාව සිදු කොට තිබේ.

ඔහු සඳහන් කොට සිටින්නේ මෙම දමිළ පවුල ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට දැරූ උත්සාහයේ දෝෂ කිහිපයක් පවතින බවයි.

පසුගිය මාස 18ක පමණ කාලයක් පුරා මෙම දමිළ පවුල සම්බන්ධයෙන් සිදු කෙරෙන නඩු විභාගය පිළිබඳව නිසි ලෙස නිරීක්ෂණය කිරීම ඉතා අපහසු කටයුත්තක් වන අතර Simon Jeans පවසන්නේ මොවුන් ඔස්ට්‍රේලියාව තුල සරණාගත වීසා අයදුම් කිරීමේදී සත්‍ය නොවන තොරතුරු ඉදිරිපත් කොට ඇති බවයි. ඒ අනුව මොවුන් 2012 සහ 2013 යන වසර වලදී ඔස්ට්‍රේලියාවට ආර්ථික වාසි තකා පැමිණි සරණාගතයින් ලෙස ඔහු පෙන්වා දෙයි.

මොවුන් ශ්‍රී ලංකික ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කෙරෙන LTTE සංවිධානය සමග පැවති සම්බන්ධතා හේතුවෙන් මුහුණ දීමට සිදු විය හැකි වධ හිංසා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය ලබාගැනීමට උත්සාහ කොට තිබේ.

2001 දී ශ්‍රී ලංකාවේ පැවති LTTE ත්‍රස්ත සංවිධානයට බැඳෙන ලෙස තමන්ට එම සංවිධානය බල කල බවත් ඒ හේතුව මත ශ්‍රී ලංකා හමුදාව ඔහුට හිරිහැර සිදු කල බවත් මෙම දමිළ පවුලේ පියා වන නඩේස් පවසා ඇතැයි 2018 වසරේ ජුනි මාසයේ අධිකරණ ලේඛනයන්හි සඳහන් වේ.

කෙසේ නමුත් නඩේස් පිළිබඳව කල පරීක්ෂණයන්ට අනුව පසුව හෙළිව ඇත්තේ මොහු 2004 වසරේ සිට 2010 වසර දක්වා කුවේට් , කටාර් සහ ශ්‍රී ලංකාව අතර රැකියා සඳහා ගමන් සිදු කොට ඇති බවයි.

එම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියානු Immigration Assessment Authority (IAA) මගින් නඩේස් සහ LTTE සංවිධානය අතර සම්බන්ධතාවයක් පවතින බවට පිළිගෙන නොමැත.

එම අධිකාරිය සඳහන් කොට සිටින්නේ යම් පුද්ගලයකු LTTE සංවිධානයට සම්බන්ධ බවට සැකයක් පවතී නම් මෙලෙස නඩේස් සිදු කල ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට කිසිසේත්ම හැකියාවක් නොපවතින අතර අනිවාර්යයෙන්ම ඔහු එම ගමන් අතරතුර අත්අඩංගුවට පත් වන බවයි.

Simon Jeans පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සරණාගතයින් අතිශයෝක්තියකින් යුත් කතා ඉදිරිපත් කරන අතර ඒ ඔස්සේ ඔස්ට්‍රේලියාව තුල ස්ථිර පදිංචිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

2019 වසරේදී එවකට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිටි Peter Dutton, මෙම දමිළ පවුල ශ්‍රී ලංකාවට නැවත යා යුත්තේ කුමන කරුණක් නිසාද යන්න සම්බන්ධයෙන් වන තර්කය ඉදිරිපත් කොට ඇති බව Courier-Mail ආයතනයේ ලිපියක දැක්වෙයි.

එහි සඳහන් වන පරිදි, මෙම දමිළ පවුල සෑම තීන්දු ගන්නකු හටම සහ සෑම විනිසුරුවරයකුටම ඔවුන්ගේ තත්වය පැහැදිලි කොට ඇති අතර ඒ සියලු දෙනාම ඔවුන්ගේ ආරක්ෂාව පැතීම ප්‍රතික්ෂේප කොට තිබේ. මේ ඔස්සේ Peter Dutton පෙන්වා දෙන්නේ පැහැදිලි ලෙසම මොවුන් සරණාගතයින් නොවන බවයි.

එමෙන්ම අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ බොහෝ අවස්ථා වල දැඩි වධ හිංසාවන්ට සහ මරණීය තර්ජනයක් පවතින පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට සරණාගතයින් ලෙස ගන්නා අතර, සිය අනාගතය මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවෙන් ආර්ථික වාසි තකා සරණාගතයින් ලෙස පැමිණෙන පිරිස පිළිබඳව අවධානයක් යොමු කිරීම එතරම් වැදගත් නොවන බවයි.

 


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


 


Share
Published 10 June 2021 1:56pm
Updated 12 August 2022 3:05pm
By Tom Stayner, Emma Brancatisano, Nipuna Dodangoda


Share this with family and friends