KEY POINTS
- චීන රජයට අයත් සමාගමක් මගින් මෙම කැමරා නිෂ්පාදනය කොට තිබේ
- මෙම ආරක්ෂක කැමරා 2023 වසරේ මැද භාගය වන විට ඉවත් කිරීමට නියමිතයි
- කිසිදු ගැටලුකාරී තත්වයක් මේ සඳහා බල නොපෑ බව ඕස්ට්‍රේලියානු යුධ අනුස්මරණ කවුන්සිල ප්‍රධානී පවසයි
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කැන්බරා හි පිහිටා තිබෙන "ඕස්ට්‍රේලියානු යුධ ස්මාරකයෙන්" චීනයේ නිෂ්පාදිත ආරක්ෂක කැමරා 11ක් ඉවත් කිරීමට නියමිතව තිබේ.
ඕස්ට්‍රේලියානු යුධ අනුස්මරණ කවුන්සිලය සඳහා අලුතින් පත් වූ සභාපති Kim Beazley ඊයේ (08) මෙම තීරණය තහවුරු කළ අතර, මෙය සුපරික්ෂාකාරී වීමක් වශයෙන් Kim පෙන්වා දෙයි.
මෙම කැමරා නිෂ්පාදනය කොට ඇත්තේ අර්ධ වශයෙන් චීන රජයට අයත් සමාගමක් වන Hikvision සමාගම මගින් වන අතර එම සමාගම ලොව විශාලතම CCTV කැමරා සපයන්නෙකු වන බව Canberra Times වාර්තා කොට තිබේ.
මෙම සමාගම මගින් නිෂ්පාදිත ආරක්ෂක කැමරා 11ක් 2023 වසරේ මැද භාගය වන විට යුධ ස්මාරකයෙන් මේ අනුව ඉවත් කිරීමට නියමිතයි.

Australian War Memorial, Canberra Source: Flickr
ඕස්ට්‍රේලියානු යුධ අනුස්මරණ කවුන්සිලය සඳහා අලුතින් පත් වූ සභාපති Kim Beazley මාධ්‍ය වෙත සඳහන් කොට සිටියේ කැමරා පමණක් නොව මේ වනවිට සියලුම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙනුත් ප්‍රවේශම් විය යුතු බවයි.
ආරක්ෂක කැමරා ඉවත් කිරීමට තීරණය කලේ සැකසහිත කිසිවක් සිදු වීම නිසා නොව, එය ප්‍රවේශම්සහගත ප්‍රවේශයක් වීම නිසා වන බවත් Kim සඳහන් කොට සිටී.
යුධ අනුස්මරණ කවුන්සිල ප්‍රකාශකයෙකු සඳහන් කොට සිටින්නේ, කවුන්සිලය සිය ආරක්ෂක වගකීම් බැරෑරුම් ලෙස සැලකූ නමුත් නිශ්චිත ආරක්ෂක කරුණු පිළිබඳව අදහස් නොදැක්වන බවයි.
එමෙන්ම මෙරට රැහැන් රහිත ජාල ඔස්සේ 5G තාක්ෂණය සැපයීමට උත්සාහ කල චීන සමාගමක් වන Huawei සමාගම තහනම් කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත් වූ අතර මේ සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය පල කිරීම සිදු විය.
කෙසේ වෙතත් මෙම පියවර ජාතික ආරක්ෂාව සහතික කිරීමක් ලෙස ඔස්ට්‍රේලියාව සඳහන් කල නමුත්, චීනය ඕස්ට්‍රේලියානු භාණ්ඩ සඳහා තහනම් පැනවීමත් සමග දෙරට අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.