ඔස්ට්‍රේලියාවේ Centrelink ආයතනයට සම්බන්ධ Robodebt වැඩසටහනේ වැරදි මෙහෙයුම් නිසා ඩොලර් මිලියන 720 ක මුදලක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නැවත ජනතාවට ගෙවීමට සිදුවී තිබේ.
සවන්දෙන්න SBS සිංහල සේවයට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අය විය යුතු ණය මුදල් ලෙස එම මුදල් robodebt වැඩසටහන ඔස්සේ අදාළ Centrelink සුබ සාධන සේවා ලාභීන්ගෙන් අය කිරීමට පියවර ගෙන තිබුණි.

Source: AAP
Robodebt වැඩසටහනේ වැරදි මෙහෙයුම්
Centrelink ආයතනයට සම්බන්ධ මෙම Robodebt වැඩසටහන පසුගිය කාලය පුරාවට ආන්දෝලනාත්මක පුවත් මවන්නට විය.
Centrelink ආයතනය ඔස්සේ සුබ සාධන දීමනා ලබන්නන්ගෙන් මධ්‍යම රජයට අය විය යුතු හිඟ මුදල් නැවත ලබා ගැනීමේ අරමුණින් මෙම ස්වයංක්‍රීය ණය එකතු කිරීමේ වැඩසටහන නිර්මාණය කෙරිණි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අය විය යුතු ණය මුදල් ඇති බවට දක්වමින් 470,000 කට පමණ පිරිසකට මේ හරහා ලිපි නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම ණය මුදල් නැවත මධ්‍යම රජයට ගෙවන ලෙස දන්වමින් එම ලිපි අදාළ ඔස්ට්‍රේලියානුවාසීන්ට යවා ඇත.
එම පිරිසෙන් ඇතැම් පුද්ගලයින් හට මෙවැනි ආකාරයේ ලිපි එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවද සඳහන්.
Centrelink ආයතනයෙන් සුබ සාධන දීමනා ලබන්නන්ගේ ආදායම් සම්බන්ධ තොරතුරු ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ ඇති තොරතුරු සමග ගලපමින් මෙම ස්වයංක්‍රීය Robodebt වැඩසටහන ක්‍රියාත්මක විය.
නමුත් එහිදී එම දත්ත ගැලපීමේදී විශාල වැරද්දක් සිදුවී ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.

Source: AAP
වැරදි ලෙස අය කරගත් මුදල් නැවත ගෙවයි
මෙම Robodebt වැඩසටහන හරහා වැරදි ලෙස ජනතාවගෙන් අය කරගත් මුදල් නැවත ගෙවීමට සමාජ සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අදාළ ණය මුදල් වලට අමතරව ඒ සඳහා මධ්‍යම රජය අයකරගත් පොලිය සහ සේවා ගාස්තු ද නැවත එම පුද්ගලයින්ට ගෙවීමට තීරණය කර තිබේ.
මෙම Robodebt වැඩසටහනේ දෝෂ ඇති බවත් එනිසාම එය නීත්‍යානුකූල නොවන බවත් ෆෙඩරල් අධිකරණය පසුගිය වසරේ තීන්දුවක් ලබා දුන්නේය.
Centrelink ආයතනයට ඩොලර් 1,000 කට වැඩි මුදලක් ණය ඇති සුබ සාධන දීමනා ලබන පුද්ගලයින්ට මෙම Robodebt වැඩසටහන ඔස්සේ ස්වයංක්‍රීයව ලිපි යොමු කෙරේ.
අදාළ ණය මුදල් වහාම මධ්‍යම රජයට ගෙවන ලෙසට එම ලිපිවල සඳහන් වී තිබේ.
කෙසේවෙතත්, ඒ ආකාරයෙන් යැවූ සෑම ලිපි පහකින් එකක්ම වැරදි තොරතුරු මත පදනම්වී යවා ඇති බව පසුව අනාවරණය වී ඇත.

Federal Opposition Leader Anthony Albanese speaks to the media during a press conference at the Enmore Theatre. Source: AAP
මධ්‍යම රජය ජනතාවගෙන් සමාව ගත යුතු බවට කම්කරු පක්ෂය පවසයි
මෙම Robodebt වැඩසටහනෙන් සිදුවූ අකටයුත්ත නිසා බොහෝ පිරිසක් අනවශ්‍ය පීඩනයකට පත්වූ බවත් මධ්‍යම රජය ඔවුන්ගෙන් සමාව ගත යුතු බවත් කම්කරු පක්ෂය පවසයි.
තමන්ට වගකීමක් නැති ණය මුදලක් ගෙවන ලෙස මධ්‍යම රජයෙන් ලිපි එවා ජනතා මුදල් අනිසි ලෙස අය කරගැනීමට ක්‍රියා කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව කම්කරු පක්ෂයේ නායක Anthony Albanese පවසයි.
මෙනිසාම මධ්‍යම රජය මේ සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ඔහු සඳහන් කරයි.
කෙසේනමුත්, මේ සම්බන්ධයෙන් සමාව ගැනීමට කිසිදු හේතුවක් නැති බව මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍ය Keith Pitt පවසා තිබේ.

Source: SBS Sinhala