ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් නිර්මාණය වූ නව ජංගම දුරකතන app එක ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඊයේ (26/04) එළිදක්වන ලදී.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මෙම app එක COVIDSafe නමින් හැඳින්වෙන අතර එය නොමිලයේ බාගත කළ හැකිය.

Health Minister Greg Hunt at the press conference to launch the new app Source: AAP
COVIDSafe ජංගම දුරකතන app එක
මෙම app එක හරහා යම් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූවා දැයි අධීක්ෂණය කිරීමට හැකිය.
මෙම App එක හරහා කොරෝනා ආසාදිතයින් ගේ හැසිරීම පිළිබඳ මනාව නිරීක්ෂණය කරමින් ඔස්ට්‍රේලියානු සමාජය මෙම වසංගතයෙන් බේරාගැනීමට පිටිවහලක් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
මෙම COVIDSafe app එක සිංගප්පූරුවේ කොරෝනා වයිරසය පාලනය කිරීමට යොදාගත් Tracetogether මෘදුකාංගය මත පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති අතර එහි ක්‍රියාකාරීත්වයට bluetooth තාක්ෂණය යොදා ගැනේ.
මෙම app එක සම්බන්ධව මතුව ඇති පුද්ගලිකත්වය හා නෛතික ගැටළු මග හරවා ගැනීමට නීති සම්පාදනය කිරීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
ඒ අනුව ඔබ COVIDSafe app එක විවෘත කරගෙන COVIDSafe app එක විවෘත කරගත් තවත් පුදගලයෙකු සමග මීටර් 1.5 ක් ඇතුළත සිටියහොත් එම දත්ත අදාළ app එක හරහා මූලික දත්ත ගබඩාවේ සටහන් වේ.
කොරෝනා ආසාදිතයෙකු සමග ගැවසුණු අනෙක් පුද්ගලයින්ව ඉතා පහසුවෙන් සොයා ගැනීමට මේ හරහා සෞඛ්‍ය අංශ වලට හැකියාව ලැබේ.
සමාජයේ වසන් වී ඇති ආසාදිතයින් සොයාගැනීමට මෙය ඉතා පහසු ක්‍රමයක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
නමුත් මෙම ජංගම දුරකතන app එකෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔස්ට්‍රේලියානුවන් ගෙන් අවම වශයෙන් 40% ක් පමණ හෝ ස්වේච්ඡාවෙන් එම app එක බාගත කොට එයට ලියා පදිංචි විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (27/04) පෙරවරු 6 වන විට ඔස්ට්‍රේලියානුවන් මිලියන 1.13 ක් මෙම COVIDSafe app එක බාගත කර ඇති බව වාර්තා වේ.
මෙය භාවිත කරන්නේ කෙසේද?
මෙම COVIDSafe app එක ඇපල් දුරකතන සඳහා App Store වෙතින්ද Android දුරකතන සඳහා Google Play වෙතින්ද නොමිලයේ බාගත කළ හැකිය.
එම බාගත කිරීමේදී අදාළ පුද්ගලයින්ගෙන් පහත ප්‍රශ්න 4 අසන අතර ඒවාට පිළිතුරු සැපයිය යුතුය.
- දුරකතන අංකය
- නම
- වයස් ඛාණ්ඩය
- postcode එක
මෙය සැමවිටම ක්‍රියාත්මක වෙමින් පැවතීමට නම් මෙම COVIDSafe app එක විවෘත කළ යුතු වන අතර ඔබගේ ජංගම දුරකතනයේ Bluetooth ද ක්‍රියාත්මක කළ යුතුය.
මෙහිදී කිසිදු පුද්ගලයෙකු සිටින ස්ථානය පිළිබඳ දත්ත එකතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

Source: Pixabay
COVIDSafe app එක ආරක්ෂිතද?
මෙම COVIDSafe app එක හරහා එක් ජංගම දුරකතනයකින් එක්රැස් කරන දත්ත දින 21 ක් ඇතුළත මකා දමන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.
එමෙන්ම එම දත්ත ගබඩාව තුළ ඇති සියලු දත්ත මෙම කොරෝනා වසංගතය නිමවූ වහාම මකා දමන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
මෙම COVIDSafe app එක ආරක්ෂිත බවත් ඒ හරහා එකතු කරන සියලු දත්ත ඔස්ට්‍රේලියාවේ 1988 දරන පුද්ගලිකත්වය පිළිබඳ පනතින් (Privacy Act 1988) සහ 2020 දරන ජෛව ආරක්ෂක නිර්ණය කිරීම යන පනතින් (Biosecurity Determination 2020) ආරක්ෂා කෙරෙන බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැහැදිලි කළේය.
මේ අතර මෙම සියලු දත්ත ගබඩා කෙරෙනුයේ ඔස්ට්‍රේලියාව තුළ බවත් ඒවාට පිවිසීමට හැකියාව ඇත්තේ මධ්‍යම රජයේ මෙන්ම ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් වල සෞඛ්‍ය අංශ සඳහා පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
එම දත්ත සම්බන්ධ නීති උල්ලංඝනය කළහොත් සිරදඬුවම් නියම කිරීමටද හැකියාව පවතින බව ඔහු පැහැදිලි කළේය.
COVIDSafe app එක හරහා ලබා ගැනෙන දත්ත පොලීසියට පවා ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Source: SBS Sinhala